
ජගත් මිහිතල දිනය අදයි – “Our Power, Our Planet” තේමාවෙන් පාරිසරික රැකවරණයට නව කැඳවීමක්
මිහිතලය අපට හිමි උරුමයක් නොව, අනාගත පරම්පරාවට භාර දිය යුතු වගකීමකි. එබැවින් එය රැකගැනීම සෑම මනුෂ්‍යයෙකුගේම පොදු වගකීමක් බව මතක තබාගත යුතුය.
ජගත් මිහිතල දිනය අද (22) දිනයට යෙදී ඇති අතර, මෙවර එය “Our Power – Our Planet” (යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්) යන තේමාව යටතේ සමරනු ලබයි.
2026 වසරේදී ලෝකය මුහුණ දෙන ප්‍රධාන පාරිසරික අභියෝග අතර දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ අඩුවීම, පාරිසරික පද්ධති විනාශ වීම සහ කාර්මික අපද්‍රව්‍ය එකතුවීම වැනි ගැටළු විශාල වශයෙන් ඉහළ යමින් පවතින බව දක්නට ලැබේ.
ජගත් මිහිතල දිනය ප්‍රථම වරට 1970 අප්‍රේල් 22 දින අමෙරිකා එක්සත් ජනපදයේදී ආරම්භ කර ඇති අතර, එය අමෙරිකානු සෙනෙට් සභිකයෙකු සහ පරිසරවේදියකු වූ ගේලෝඩ් නෙල්සන් විසින් පුරෝගාමීව හඳුන්වා දී ඇත.
ඒ අනුව ආරම්භ වූ මෙම උත්සවය පසුව ලොව පුරා ව්‍යාප්ත වී අද වන විට රටවල් 193කට අධික ප්‍රමාණයක බිලියන 1කට ආසන්න ජනතාවගේ සහභාගීත්වයෙන් සමරනු ලබන විශාල ගෝලීය වැඩසටහනක් බවට පත්ව ඇත.
2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාවක් අනුව, “පොළව මත ඇති සියලුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සලකා එය රැකගැනීම” මෙම දිනයේ මූලික අරමුණ ලෙස නම් කර ඇත.
මෙම දිනය ආරම්භ වීමට හේතු වූයේ යුරෝපීය රටවල සිදු වූ අධික සම්පත් භාවිතය හේතුවෙන් උද්භව වූ වායු හා ජල දූෂණය වැනි ගැටළු මඟින් මානව සෞඛ්‍යයට එල්ල වූ තර්ජන පිළිබඳ ජනතාව දැනුවත් කරමින්, ඒවාට විසඳුම් සෙවීමට ඔවුන් එක් කිරීමයි.



