
උත්සව සමයේ වැටලීම් දැඩි කරයි: අප්‍රේල් 30 දක්වා විශේෂ මෙහෙයුම්
උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන එළඹෙන අප්‍රේල් 30 වනදා දක්වා දිගු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, මාර්තු 20 වනදා සිට මේ දක්වා කාලය තුළ පාරිභෝගිකයින්ට අසාධාරණ ලෙස බලපාන සිද්ධීන් සම්බන්ධයෙන් වැටලීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි.
තවද, උත්සව සමයේදී වෙළඳපොළ තුළ ඇතිවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සහ පාරිභෝගිකයින්ගේ හිමිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම විශේෂ මෙහෙයුම් තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සිදු කරන විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහන අපි අප්‍රේල් 30 වන දින දක්වා ක්‍රියාත්මක කරනවා. මේ වැඩපිළිවෙල යටතේ අපි විශේෂයෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීම, ඒ වගේම වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, ඒ වගේම පාරිභෝගිකයින් වෙළෙඳපොළ තුළදී විවිධාකාර අපහසුතාවයන්ට පත් කිරීම සහ පාරිභෝගිකයින් අසාධාරණයට ලක් කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු අපේ නිලධාරීන් සිදු කරනු ලබනවා”
“පාරිභෝගිකයින් වෙළෙඳපොළේ යම්කිසි විදියකට අසාධාරණයට ලක් වීමක් හෝ ගැටලුවක් තියෙනවානම් ඒ සම්බන්ධව දැනුම්දෙන්න කාර්යාල වෙලාවන්හිදී පාරිභෝගිකයින්ට පුළුවන්. පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 කියන කෙටි දුරකතන අංකයට කතා කරලා එම තොරතුරු ලබා දෙන්න. ඒ අනුව නිලධාරීන් ඒ සම්බන්ධව අවශ්‍ය මැදිහත්වීම කරනවා”



