
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග – ආරක්ෂාව තවත් තද කරයි
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
අද (10) පෙරවරුවේ එම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ඔහු සඳහන් කළේ, මෙම වස්තුවලට සිදුවන හානි කිසිදු සරල ක්‍රියාවක් නොව, සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරන ක්‍රියාකාරකම් ලෙස සැලකෙන බවයි.
තවද, මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා දැඩි ආරක්ෂක පියවර ගන්නා බවත්, වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.
අමාත්‍යවරයා අනාවරණය කළේ, කාන්තා වැසිකිළිවල සවිකර තිබූ කරාම පළමු දිනයේ ඉවත් කර තිබූ අතර, නැවත සවි කිරීමෙන් පසු දෙවන දිනත් (09) රාත්රියේදී එම කරාම නැවත ඉවත් කර ඇති බවයි. එය සැලකිල්ලට ගනිමින්, මෙය සැලසුම්ගත හා සංවිධානාත්මක ක්‍රියාවක් බවට සැකය පළ කරයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ ආරක්ෂක අංශ සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,
“කාරණා දෙකක් වෙන්න පුළුවන්. එකක් මෙතන ගැන දැනුමක් නැතිව අනවබෝධයෙන් වෙන වැඩක් වෙන්න පුළුවන්. හැබැයි කරාමයක් කරකවලා කරකවලා කාන්තා වැසිකිළිවල විතරක් ගලවනවා කියන්නේ ඒක සංවිධානාත්මක වැඩක්. ඒ නිසා පෞද්ගලිකව මමත් මෙතන කාර්ය මණ්ඩලය වුනත් විශ්වාස කරන්නේ දේශපාලනයේ අපිට විවිධ මත තියෙන්න පුළුවන්. මේක පොදු ජනතාවගේ දෙයක්, පොදු මහජනතාවගේ බදුමුදලින් හදලා තියෙන්නේ. ඒවගේ අලාභ හානි කරන්න දෙන්න බැහැ අපි මේකට නීතිය ක්‍රියාත්මක කරනවා. මොකද දෙවැනි පාරට හයි කරාට පස්සේ ආයෙත් ගැලවෙනවා කියන්නේ.. ඊයේ රෑ හැදුවාට පස්සේ අද උදේ ආයෙත් ගලවලා.. ඒ කියන්නේ මේක සංවිධානාත්මකව ගලවනවා. අපි දන්නවා සමාජ මාධ්‍ය තුළත්, එළියේ වුණත් මේකට කොච්චර මඩ ගැහුවාද කියලා. මඩ ගැහුවාට කමක් නැහැ හැබැයි ජනතා බදු මුදලින් හදපු ඒවාට අලාභ හානි කරන්න එපා කියන එක තමයි ඉල්ලන්නේ. අපි හිතනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා මාස 3කට වැඩි කාලයක් මෙතන ගත කරන්න. ඒ වගේම තමයි මෙතන ආරක්ෂක තත්ත්වෙත් අපි දැඩිව ක්‍රියාත්මක කරනවා. CCTV ප්‍රමාණයේ අඩුවක් තියෙනවා අපි ඒ ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.”



