
හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියෙන් “හාවා”ගේ දේහය ගොඩගනී – යට ගිය ඝාතනයක කරුනු හෙළිවේ
2021 වසරේ සිදුවූ ඝාතන සිද්ධියකට අදාළව ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරු වූ සඳුන් උදාර අල්විස් හෙවත් “හාවා” නමින් හඳුන්වන පුද්ගලයාගේ දේහය අද (06) පෙරවරුවේ හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියෙන් ගොඩගන්නා ලදී.
මෙම කටයුතු සිදු කෙරුණේ හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මියගේ ඉදිරියේදීය.
පොලිස් අනාවරණයන්ට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හඳුන්වන “කුඩු සළිඳු” සහ ඔහුගේ සමීපතමයෙකු වූ “කුඩු නිලංග” ඇතුළු කණ්ඩායමක් 2021 වසරේදී පානදුර පිංවල සුසාන භූමියේදී සිදුකළ ඝාතනයකට අදාළ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස “හාවා” අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.
කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු වූ ඔහු, 2024 අගෝස්තු 3 වන දින ගැබිනි කාන්තාවක සමඟ ගමනක් ගොස් පසුව අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ චතුරි ලක්ෂානී විසින් හිරණ පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ “හාවා” නමැත්තා ඝාතනයට ලක්ව ඇති බවයි.
එමෙන්ම, පානදුර පිංවල ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවා විනාශ කිරීමේ අරමුණින් “කුඩු නිලංග” ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මෙම ඝාතනය සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.
සිද්ධියට අදාළව ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා සහ ඝාතනයට සහාය ලබාදුන් බවට සැකකෙරෙන තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාදී ඇත.
මරණයට ලක්වූ පුද්ගලයාගේ මළසිරුර හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියේ වළ දමා ඇති බවට අනාවරණය වීමෙන් පසු, එය ගොඩගැනීම අද පෙරවරුවේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සේවකයින්ගේ සහාය ඇතිව ආරම්භ කෙරුණි.
ඒ අනුව, දේහය හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මියගේ ඉදිරියේ ගොඩගන්නා ලදී.



