ප්‍රධාන පුවත්

පාස්කු දින ජනාදිපති සුබපැතුම් – සියලු භේද දුරලා එක් ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට

පාස්කු ඉරුදිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ විශේෂ පණිවිඩයකින් සියලු ශ්‍රී ලාංකිකයන්ට එක්සත් වීමට ආරාධනා කර ඇත.

ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුව ප්‍රේමය, ඉවසීම සහ සමාව දීම වැනි උතුම් ගුණ අනුගමනය කරමින් සමාජයේ පවතින සියලු භේද පසෙකලා එකම පවුලක් ලෙස ඉදිරියට ගමන් කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

එමෙන්ම, මේ අවස්ථාවේ මැදපෙරදිග ප්‍රදේශවල පවතින යුද තත්ත්වය හේතුවෙන් ලොව ජනතාව විවිධ පීඩාවන්ට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි. යුද්ධය වෙනුවට සාමය හා සහජීවනය ලෝකයට අත්‍යවශ්‍ය බවත්, එය ලෝ වැසියන්ගේ පොදු අපේක්ෂාවක් වී ඇති බවත් එම පණිවිඩයේ සඳහන් වේ.

අවසානයේ, සමාජයේ එකමුතුව සහ සමාධානකාරී ජීවන රටාවක් ගොඩනැගීමට සියලු ජනතාව එක්ව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා ආරාධනා කර ඇත.

 

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ පණිවිඩය පහතින්,

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කිතුනු බැතිමත්හු ඉමහත් භක්තියන් යුතුව පාස්කු ඉරිදා දිනය සමරති. එය බලාපොරොත්තුවේ, අලුත් වීමේ සහ දයාවේ සදාතනික බලය සිහිපත් කරන්නකි.

ආගමික උත්සවයක් සේම පාස්කු උත්සවය යනු මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ දරා ගැනීමේ හැකියාව පිළිබඳ යළි මෙනෙහි කරවන කිතුනුවන්ගේ සංස්කෘතික මංගල්‍යයකි.  මරණය පරදා  උත්ථානය ලැබූ  ක්‍රිස්තුස් වහන්සේ දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් තිබේ නම් අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බව ජීවනාදර්ශයෙන් ලොවට පෙන්වා දුන්හ. තමන් වෙනුවෙන් ජිවිතය පූජා කළ යේසුස් වහන්සේ උදෙසා එක්සත්ව නැගී සිටි ජනතාව ලෝකයට එක්සත්භාවයේ යහ-පණිවිඩය ලබා දුන්හ. 

මේ මොහොතේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා ජනතාව මහත් පීඩා විඳින බවද අපට අමතක කළ නොහැකිය. එදිරිවාදය පෙරදැරිව ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරති. මේ උතුම් පාස්කු උදාවේදී  සාමය කරා යන ගමන්මඟ හෙළිපෙහෙළි වේවා’යි ප්‍රාර්ථනා කරමි.

ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි  දැක්වෙන පරිදි අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණ දියෙන් පුරවාලමින් එක මවකගේ දරුවන් මෙන් භේද දුරලා හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු! ඒ සඳහා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමු!

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ  කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය වීම සිහිපත් කරන මෙම උතුම් පාස්කු දිනය සමරන  සියලුම ශ්‍රී ලාංකික මෙන්ම ලෝවැසි කිතුනු බැතිමතුන්ට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

ඔබ සැමට දයාවේ සහ සාමයේ පැතුම් ඉටු වන සුබ පාස්කු මංගල්‍යයක් වේවා!

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button