
ලෝකය පාලනය කිරීමට එක් පුද්ගලයෙකුගේ ආශාවෙන් මනුෂ්‍ය වර්ගයාට වේදනාවක් – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්
ලෝකයේ සාමය මේ වන විට බිඳවැටී ඇති බවත්, එයට ප්‍රධාන හේතුවක් ලෙස එක් පුද්ගලයෙකුගේ බලය අත්පත් කර ගැනීමේ ආශාව පවතින බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරයි.
පාස්කු දිනය නිමිත්තෙන් පැවති ප්‍රධාන දිව්‍ය පූජාවට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් අවධාරණය කළේ ක්‍රිස්තු ධර්මය යනු යාඥා කිරීම හෝ ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවීම පමණක් නොවන බවයි. එය ප්‍රේමය හා සේවය මූලික කරගත් ජීවන මාර්ගයක් බවත් උන්වහන්සේ පැවසීය.
ඒ අතරම, වර්තමාන ලෝකයේ නායකත්වය භාරගත් බොහෝ දෙනා සේවකයන් ලෙස නොව බලය පසුපස යන පාලකයන් ලෙස හැසිරෙන බවත්, එය ලෝකයට තවත් ගැටලු ඇති කරන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
“අපි යාඥා කරමු විශේෂයෙන්ම මේ කාලයේදී ලෝක සාමය වෙනුවෙන්. මේ සාමය බිඳිලා තිබෙනවා එක මනුෂ්‍යයෙකුගේ ආත්මාර්ථකාමීත්වය නිසා, එක මනුස්සයෙක් ලෝකය පාලනය කරන්න තියන ආශාව නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක් ඇවිල්ලා තියෙනවා. අපි යාඥා කරමු මේ මනුෂ්‍යාගේ හිත වෙනස් කරන්න කියලා, මේ දුෂ්කර, දුර්වල ගමන් මාර්ගයෙන් ඈත් කරන්න. ක්‍රිස්තු ධර්මය අදහනවානම් ඔහොම කරන්න බෑ. කිස්තු ධර්මය කියන්නේ යාඥා කරන එක විතරක් නෙමෙයි, ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවන එක විතරක් නෙමෙයි, පාස්ටර්ස්ලා ගොඩක් ළඟ තියාගෙන ලෝකෙට ප්‍රකාශ කරන්න හදන එක නෙමෙයි. ක්‍රිස්තු ධර්මය කියන්නේ ප්‍රේමය, ජීවත්වීම. ප්‍රේමය සේවකයෙකු වීම, දෙවියන් වහන්සේ ඉදිරියේ පැහැපත්වීම, අසල්වැසියා ඉදිරියේ පැහැපත් වීම, නායකයා සේවකයා විය යුතුයි කියලා තියෙනවා නමුත් අද මේ ලෝකේ පාලනය කරන මේගොල්ලෝ නායකයෝ, සේවකයෝ වෙන්නේ නෑ. ඒ ගොල්ලෝ පාලකයෝ ඒ ගොල්ලෝ බලය පස්සෙන් යන අය.”



