අද විශේෂ

පාස්කු ඉරුදින අදයි : ලොව පුරා කිතුණුවන් උත්ථානය සමරයි – දේව මෙහෙයන්ට විශේෂ ආරක්ෂාව

ලොව පුරා සිටින කිතුණු භක්තිකයන් විසින් ඉමහත් ආගමික භක්තියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට (05) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථානය වූ දිනය ලෙස මෙය සැලකෙයි.

බයිබලීය ඉතිහාසයට අනුව, සකල ලෝක ජනතාවගේ පාප භාර ගනිමින් කුරුසියේ ඇණ ගසා මරණයට පත් වූ ජේසුස් වහන්සේ, දින තුනකට පසුව උත්ථානය වී තම අනුගාමිකයින්ට දර්ශනය වූ බව සඳහන් වේ. එම උත්ථානය සිහිපත් කරමින් පාස්කු මංගල්‍යය උත්සවාකාරයෙන් සමරනු ලැබේ.

ඒ සමඟම, ජේසුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විසින් පැවැත්වූ දින 40ක උපවාස සහ වත් පිළිවෙත් කාලයද අද දිනයෙන් අවසන් වේ.

පාස්කු ඉරිදා උදාවට පෙර, “ආලේ ලුයියා” යන නාමයෙන් හඳුන්වන මධ්‍යම රාත්‍රී විශේෂ දේව මෙහෙයන් ඊයේ (04) රාත්‍රියේ දිවයින පුරා දේවස්ථානවල පැවැත්වුණි.

මෙහි ප්‍රධාන දේව මෙහෙය කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්වුණු අතර, එයට අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද සහභාගී විය.

පාස්කු දිනය නිමිත්තෙන් පැවැත්වෙන සියලු ආගමික කටයුතු සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද ආරක්ෂක මෙහෙයුම් සඳහා යොදවා තිබේ.

ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ, මෙම ආරක්ෂක සැලසුම් හේතුවෙන් කිතුණු ජනතාවට කිසිදු බියකින් තොරව තම ආගමික වතාවත් සිදුකිරීමට හැකි බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button