ප්‍රධාන පුවත්

විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජනයට එක්වන්නේ නැහැ – රෝහල් සේවා අඛණ්ඩව

පීඩාවට පත්වන රෝගී ජනතාව වෙත අස්වැසිල්ලක් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් අද (04) උදෑසන ආරම්භ කළ වැඩවර්ජනයට විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කළේ, සියලු විශේෂඥ වෛද්‍යවරුන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සිදුකරමින් රෝහල්වල විශේෂ වෛද්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. තවද, පශ්චාත් පුහුණු ලබන විශේෂඥ වෛද්‍යවරුන් ද මෙම වැඩවර්ජනයට සහාය නොදක්වන බව ඔහු පැහැදිලි කළේය.

විශේෂඥ වෛද්‍යවරුන් 2,300කට ආසන්න පිරිසක් මෙම සංගමයට අයත් වන අතර, ඔවුන් සියලු දෙනාම වෘත්තීය කටයුතු සාමාන්‍ය පරිදි ඉටු කරමින් සිටින බව ද සඳහන් වේ. සංගමයේ ප්‍රතිපත්තිය අනුව විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජන සඳහා එක් නොවන බවද ඥානසේකරම් මහතා අවධාරණය කළේය.

එමෙන්ම, විශේෂඥ වෛද්‍යවරුන්ටද විවිධ ගැටලු පවතින නමුත් රෝගීන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් වර්ජන ක්‍රියාමාර්ගවලට යොමු වීම තම ප්‍රතිපත්තියට නොගැළපෙන බව ඔහු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතර, සමහර ගැටලු සඳහා තවමත් විසඳුම් නොලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිවයින පුරා රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. එම වර්ජනය සඳහා හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සහ සේවා ස්ථාන මාරු ලැයිස්තු සකස් කිරීමේදී දේශපාලන බලපෑම් මත අක්‍රමිකතා සිදු වීමයි.

මෙම වෛද්‍ය වර්ජනය අද පෙරවරු 08ට ආරම්භ වී ඇති අතර, එය අවසන් වන දිනයක් හෝ වේලාවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. මීට පෙරද ඉකුත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල එක් දිනක් සඳහා පමණක් මෙවැනි වර්ජන ක්‍රියාත්මක කර තිබුණි.

කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක වන මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button