ප්‍රධාන පුවත්

GMOAට සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් දැඩි ප්‍රතිචාර

අද උදෑසන ආරම්භ උනු වැඩ වර්ජනයට සැර පිලිතුරක් ලබාදෙමින්  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කලේ රජය විසින් විධිමත් වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් සකස් කරමින් එය ක්‍රියාත්මක කරමින් පවතින බවය. 

ඔහු මෙම අදහස් පළ කළේ අද (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් උත්තර ලබා දෙමින්ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මැයි 10 වනවිට වෛද්‍යවරුන් 6,000කට ආසන්න ප්‍රමාණයක් ස්ථානමාරු කිරීමට නියමිත බවයි. මෙම ක්‍රියාවලිය පෙබරවාරි මස ආරම්භ කර ඇති අතර, පසුගිය වසර 13ක කාලය තුළ මෙවැනි විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක වී නොතිබූ බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද, මෙම නව ක්‍රියාවලිය හරහා කලින් අසාධාරණයට ලක්වූ වෛද්‍යවරුන්ට සාධාරණයක් සිදු වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් බහුතර වෛද්‍යවරුන් එයට සහාය දක්වන බවත් අමාත්‍යවරයා පැවසීය. එහෙත්, කලින් බලය භාවිතා කරමින් තමාට කැමති ස්ථානවල දිගුකාලීනව රැඳී සිටි පුද්ගලයන් මෙම ක්‍රමයට විරෝධය පළ කරන බවද ඔහු චෝදනා කළේය.

අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, යුද්ධ සමයේ සහ එයට පසු කාලය තුළ භාවිතා කළ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ සඳහා වෛද්‍යවරු යොමු කිරීමේ ලැයිස්තුවක් 2018 දක්වා පවත්වාගෙන ගොස් ඇති බවයි. පසුව 2020දී එය “දුෂ්කර සේවා ලැයිස්තුවක්” ලෙස සංශෝධනය කර තිබේ.

මෙවර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ පළාත් අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා කරමින්, නිර්නායක 7ක් පදනම් කරගෙන නව දුෂ්කර සේවා ලැයිස්තුවක් සකස් කර ඇත. එම ලැයිස්තුවේ ස්ථාන 265ක් ඇතුළත් වන අතර, එය සම්පූර්ණයෙන්ම අමාත්‍යාංශයේ වගකීමක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වෘත්තීය සංගම්වලට එම ලැයිස්තුව සකස් කිරීමේදී භූමිකාවක් නොමැති බවත්, එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම ක්‍රියාත්මක කළ යුතු කාර්යයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button