
රජයේ වෛද්‍යවරුන්ගේ දිපව්‍යාප්ත එක්දින වැඩවර්ජනය අද (31) – හදිසි සේවා සාමාන්‍ය ලෙස
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 08.00 සිට දිපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා මේ පිළිබඳ දැනුම් දී ඇති අතර, මෙම වැඩවර්ජනය සඳහා හේතුව ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුකිරීම් පිළිබඳ ගැටළු උදාවී ඇති බව සඳහන් කළේය.
ඔහු පවසන්නේ, කිසිදු නිසි ක්‍රමවේදයක් හෝ විමසීමක් නොමැතිව, දේශපාලනික අරමුණු මත නීතිවිරෝධී ලෙස වෛද්‍ය ස්ථාන මාරු සිදුකර ඇති බවට සංගමය දැඩි විරෝධය පළ කරන බවයි. එම තත්ත්වයට ප්‍රතිචාර ලෙස මෙම සංකේත වැඩවර්ජනය සංවිධානය කර ඇති බවද ඔහු පැහැදිලි කළේය.
තවද, මෙවැනි ස්ථාන මාරුකිරීම් සඳහා විශේෂ ලැයිස්තුවක් සකස් කර ඇති අතර, පෙර කිසිදු අවස්ථාවක මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවද සඳහන් විය.
කෙසේවෙතත්, රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව සංගමය ජනතාවට අවධාරණය කරයි. තවද මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.
මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවුණහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් වෛද්‍යවරුන් වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පසුගියදා පවසා සිටියේ, “මං හිතන්නේ වෛද්‍යවරු විදියට වර්ජන ක්‍රියාමාර්ගයකට යන්න බැහැ. ඒ නිසා ඉතිහාසය පුරාම එවැනි දේවල් ලොකුවට වෙලත් නෑ. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතිය මං හිතන්නේ එහෙම දේවල් කරන්න හැකියාවකුත් නෑ. පසුගිය දවස්වල කිව්ව දේවල් ලොකුවට මුකුත් වුණෙත් නෑ. නමුත් වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඇහුන්කම් දෙන්න අපි සුදානම්…” යනුවෙනි.



