
චීන ජාතිකයින් 125ක් පිටුවහල් කෙරේ- අන්තර්ජාල මූල්‍ය වංචා චෝදනා
හොර රහසේ මෙරට රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ විවිද වංචා කරන විදෙස් ජාතිකයන් පිළිබඳ මේ වනවිට නිරන්තරයෙන් පුවත් අසන්නට දකින්නට ලැබේ, එවන් පසුබිමක අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රඳවා සිටි චීන ජාතිකයින් 125 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇති බව වාර්තා වේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, චීන රජය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එරටින් පැමිණි විශේෂ ගුවන් යානයක් මගින් මෙම පිරිස ආපසු යැවීමට කටයුතු කළ බවයි.
මෙම පුද්ගලයින් පසුගිය 17 වනදා අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හල් කිහිපයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා ක්‍රියාකාරකම් සිදු කරමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබුණි.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම චීන ජාතිකයින් සංචාරක සහ ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණීමෙන් පසු ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැඳී සිට ඇති බවයි.
අත්අඩංගුවට ගත් පසු ඔවුන් වැලිසර රඳවුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව රඳවා තැබූ අතර, පසුව චීන බලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.
එම ක්‍රියාවලිය සඳහා චීන ආගමන විගමන නිලධාරී කණ්ඩායමක් සහ වෛද්‍යවරයෙකු විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද සඳහන් වේ.
අදාළ පිරිස ඊයේ රාත්රියේදී පිටුවහල් කර ඇති අතර, ඔවුන් සමඟ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද චීනය වෙත ගමන් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.



