ප්‍රධාන පුවත්

විදුලිය ඉතිරි කරගන්න ජනතාවට උපදෙස් – පොසිල ඉන්ධන මත නිෂ්පාදනය වැඩිවේ

වර්තමාන බලශක්ති තත්ත්වය හමුවේ විදුලිය කාර්යක්ෂම ලෙස සහ සැලසුම්ගතව භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, සවස 5 සිට අලුයම දක්වා කාලය තුළ විදුලිය නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් පොසිල ඉන්ධන භාවිත කිරීමට සිදුවන බවයි. එම නිසා එම කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා ජනතාවගේ සක්‍රීය දායකත්වය ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීමේදී ඉහළ වියදමක් දැරීමට සිදුවන බැවින්, විදුලිය ඉතිරි කර භාවිත කිරීම තුළින් විදුලි බිල අඩු කරගැනීමටත්, ඉන්ධන භාවිතය අවම කිරීමටත් හැකි බව ඔහු පැහැදිලි කළේය.

තවද, බලශක්ති කාර්යක්ෂම උපකරණ භාවිතයට ජනතාව යොමුවිය යුතු බවද සඳහන් කළ ඔහු, LED බල්බ, ශීතකරණ සහ වායුසමනය යන්ත්‍ර වැනි උපකරණ මිලදී ගැනීමේදී බලශක්ති ලේබල් ක්‍රමවේදය සැලකිල්ලට ගැනීමෙන් වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගත හැකි බවද පැවසීය.

ඊට අමතරව, අකාර්යක්ෂම උපකරණ රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා නීති සැකසීම සිදුකරමින් පවතින අතර, කෙටි කාලීන බලශක්ති කළමනාකරණ වැඩපිළිවෙළක්ද රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කළේය.

වර්තමානයේ බොරතෙල් සැපයුම අඩුවීම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය සඳහා ඩීසල් භාවිතය වැඩි වී ඇති අතර, ඒ හේතුවෙන් වියදමද ඉහළ යන බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, දහවල් කාලයේ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය සිදු වන බැවින්, හැකි අවස්ථාවලදී අත්‍යවශ්‍ය කටයුතු දිවා කාලයට මාරු කරගැනීම මඟින් විදුලි භාවිතය කාර්යක්ෂමව කළමනාකරණය කරගැනීමටත්, වියදම් අඩු කරගැනීමටත් හැකි බවද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button