ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා පොලිසියෙන් අනතුරු ඇඟවීමක්: ව්‍යාජ පණිවිඩ සමාජ මාධ්‍යවල පැතිරේ

ශ්‍රී ලංකා පොලිසියේ නම භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ව්‍යාජ පණිවිඩයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. මහජනතාවට උපදෙස් ලබා දෙන ආකාරයෙන් සකස් කර ඇති මෙම පණිවිඩය, නිල වශයෙන් පොලිසිය විසින් නිකුත් කළ එකක් නොවන බව එම නිවේදනය මගින් දැක්වේ.

‘ප්‍රවේශම් වන්න’ යනුවෙන් ආරම්භ වන මෙම පණිවිඩය තුළ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන ලෙස සඳහන් කර තිබුණද, එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රකාශයක් බවයි පොලිසිය අවධාරණය කරන්නේ.

පොලිසිය පවසන්නේ, මහජනතාවට නිල දැනුවත් කිරීම් සිදු කරන්නේ නම් ඒවා පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිල ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය වෙත නිකුත් කරන බවයි. එමෙන්ම, ඔවුන්ගේ නිල Facebook පිටුව සහ YouTube නාලිකාව හරහාද එවැනි පණිවිඩ නිතර යාවත්කාලීන කරන බව සඳහන් කර ඇත.

තවද, පොලිස් ලාංඡනය හෝ නාමය භාවිතා කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිටුපස සැලසුම් සහගත ක්‍රියාවක් පවතිනද යන්න සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

එබැවින්, සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මෙවැනි පණිවිඩ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button