
ඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනය අඩාල වීමේ අවදානමක් – ගැමුණු විජේරත්න
ඉන්ධන සැපයුම සම්බන්ධ ගැටලු තවදුරටත් විසඳී නොමැතිව පවතින බැවින්, රටපුරා බස් සේවාව අඩාල වීමේ අවදානමක් පවතින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ, බස් රථ සඳහා වෙන් කර ඇති ඉන්ධන කෝටාව මෙතෙක් නිසි ලෙස සකස් කර නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අදාළ ප්‍රවාහන බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උග්‍ර වී ඇති බවයි. ඒ අනුව, ඉදිරියේදී බස් ධාවනය සීමා වීමේ අවදානමක් ද පවතින බව ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල ලංගම ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීම සිදු වුවද, තවත් ප්‍රදේශවල එවැනි පහසුකම් නොමැති බවට වාර්තා වේ. සමහර ඩිපෝ වෙත ගිය විට ඉන්ධන නොමැති බව දන්වා ඇති බවත්, එමඟින් බස් හිමියන් දැඩි අපහසුතා වලට මුහුණ දෙන බවත් සඳහන් වේ.
මෙවැනි තත්ත්වයන් මත, එළැඹෙන සඳුදා සිට බස් සේවාව සැලකිය යුතු ලෙස අඩාල විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත්ව ස්ථිර විසඳුම් ලබාදෙන ලෙසද ඉල්ලීමක් කර ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,
“තාමත් බස් රථවලට අවශ්‍ය ඉන්ධන කෝටාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හදලා නෑ. දුර ගමන් බස් රථ 1700කට විතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා හදලා දීලා තිබෙනවා. පළාත් සභාවලට ඒ දත්තයන් අරන් තියෙනවායි කියලා කියනවා. මේවා තාමත් සිද්ධ වෙලා නෑ. ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබා දෙනවා ඇතැම් ප්‍රදේශවල නමුත් අනිත් ප්‍රදේශවල ඩිපෝවට ගියාම ඉන්ධන නෑ. මේක බරපතළ ප්‍රශ්නයක්. සඳුදා වෙනකොට අපිට බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. බොහෝ දුරට බස් රථ සේවාව 50% දක්වා අඩාළ වේවි. ගිය සතියේ අපේ බස්රථවල ඉන්ධන තිබුණා. දැන් මේ වෙනකොට ඒ ඉන්ධන ඉවරයි. QR එක ගත්තාම බස් රථවලට තිබෙන්නේ ලීටර් 60යි. අධිකාරිවලින් දැනුම්දීලා තිබෙනවා ඩිපෝවලට ගිහිල්ලා තෙල් ගහන්න කියලා. දවල්කාලේ ඩිපෝවලට තෙල් ගහන්න ගියොත් බස් රථ දුවන්න වෙන්නේ නැහැ. මේක තාමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, ප්‍රවාහන බලධාරීන්ට දින කිහිපයක් වෙලා මේක විසඳගන්න තවම හැකියාවක් ලැබිලා නැහැ.”



