
අඛණ්ඩ බලශක්ති සැපයුම රජයේ අධිෂ්ඨානය – ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම අභියෝගයක්
ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩ බලශක්ති සැපයුම ලබාදීම රජයේ ප්‍රධානම අරමුණ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. එම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
අද (20) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාම නිසා බලශක්ති සම්පත් ලබා ගැනීම දැඩි අභියෝගයකට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම ගල්අඟුරු මිලදී ගැනීමේදී පවා පවතින මිල සාමාන්‍ය කාලවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටියේය.
මෙවැනි තත්ත්වයන් හමුවේ, පෙර පැවති මිල ගණන් යටතේ මිලදී ගැනීම් සිදු කිරීම දැන් නොහැකි බවත්, නව ගෝලීය ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉදිරි තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“අපේ ප්‍රධානම ඉලක්කය තමයි අඛණ්ඩව විදුලිය සැපයීම. ඒ සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. එක් එක් මාසවල විදුලිය පරිභෝජනයේ වෙනස්කම් තිබෙනවා. සමහර මාසවලදි විදුලි පරිභෝජනය වැඩියි. ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමහර වාර්තා විමර්ශනයට යොමු කරලා තිබෙනවා අපි ඒවා බලමු කොහොම වුණත් අපේ බලාපොරොත්තුව තිබෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම. ලෝක වෙළෙඳපොළේ සියලු දේම මිල ඉහළ ගිහිල්ලා තිබෙන්නේ ගල්අඟුරුවල ඉඳලා හැමදේම. අනිත් පැත්තෙන් මෙවැනි තත්ත්වයකදි අපි සිදුකරන ටෙන්ඩර්වලදි සාමාන්‍ය කාලවලදි එන මිල ගණන් නෙමෙයි මේ ගැන සලකලා බලලා තමයි තෙල් මිල වේවා, විදුලි බිල වේවා සියල්ල තීන්දු කරන්න වෙන්නේ.”



