ප්‍රධාන පුවත්

අඛණ්ඩ රාජ්‍ය සේවයක් පවත්වාගැනීම සඳහා පත් කල කමිටුව රැස්වෙයි

ලොවතුල පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට රාජ්‍ය සේවය විධිමත්ව සහ ක්‍රමානුකූලව  පවත්වාගැනීම  සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව පළමු වරට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ රැස්විය.

මැද පෙරදිග උත්ගත වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවී තිබෙන බලශක්ති අභියෝග සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින්, රාජ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් මෙහිදී පැවැත්වී ඇත.

බලශක්තිය සාර්ථකව කළමනාකරණය කරමින්, රජයේ දෛනික කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස විමසා බැලීම සිදුකර ඇත. එමෙන්ම, අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් කඩාවැටීමකින් තොරව ජනතාවට අඛණ්ඩව ලබාදීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය වී ඇත.

තවද, රාජ්‍ය සේවකයන්ට මෙම තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදුවන දුෂ්කරතා අවම කරගැනීම සඳහා ගත හැකි ප්‍රායෝගික විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, සේවා සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නව ක්‍රියාමාර්ග සලකා බැලීමට කමිටුවේ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එම්.එච්. අබයරත්න මහතා ඇතුළු උසස් නිලධාරීන් සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු රැසක් එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button