
ශ්‍රී ලංකාවට LPG නෞකා 2ක් පැමිණේ – ගෑස් තොග 71,000MTක් සැපයීමට සැලසුම්
ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත පිහිටි ගෑස් ගොඩබෑමේ බෝයාව වෙත පැමිණ තිබේ.
“අද දෙරණ” වාර්තාකරු අනුව, එම නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, ඉන්ධන රැගත් තවත් නෞකාවක් ද අද උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ අතර, ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, මාර්තු මාසය තුළ මේ වනවිටත් ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවයි.
තවද, ඉදිරි දින දෙක ඇතුළත තවත් මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙම සැපයුම් හේතුවෙන් රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමටත්, පවතින ඉල්ලුම සපුරාලීමටත් හැකි වනු ඇති බවද වැඩිදුරටත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“අපිට මාර්තු මාසයේ ගෑස් අවශ්‍යතාව තිබුණේ මෙට්‍රික් ටොන් 33,000යි. එහෙත් පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩපණ කර තිබෙන නිසා මාර්තු මාසයට අපි 38,000ක් ඇනවුම් කළා. ඊට අවශ්‍ය වන ගෑස් තමයි අපේ ලිට්රෝ සමාගම ආනයනය කරන්නේ. ඒ මෙට්‍රික් ටොන් 38,000ම දැන් ලැබී තිබෙනවා.
සමහර ඒවා වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. සමහර ඒවා දේශීය ගබඩාවල තිබෙනවා. අනෙක් ඒවා මාලදිවයිනේ පාවෙන ගබඩාවල තැන්පත් කර තිබෙනවා. අපි තව ගෑස් නැවක් ඇනවුම් කර තිබෙනවා. ඒ අනුව හෙට හෝ අනිද්දා මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් නැවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ගෑස් වෙළෙඳපොළෙහි අර්බුදයක් මතු වන්නේ නැහැ.
ඊළඟට ගෑස් සපයන්න තිබෙන්නේ අප්‍රේල් 21-23 කාලයේ. ඒ කාලයේදී ඊළඟ නැව ඔවුන් අපට ලබා දේවි කියල අපට විශ්වාසයක් තිබෙනවා. ගෑස් වෙළෙඳපොළේ අර්බුදයක් ඇති වීමේ අනතුර අඩුයි.”



