
සිවිල් වැසියනට එල්ලවන සෑම ප්‍රහාරයක්ම හෙලා දකිනවා – ශ්‍රී ලංකා රජය
මැදපෙරදිග සාමාන්‍ය ජනතාව පීඩනයට පත්කරමින් සිදුවෙමින් පවතින ලෙයින් වියරු වූ යුදමය තත්වයෙන් සිවිල් වැසියනට සහ සිවිල් වැසියන්ගේ යටිතල පහසුකම්වලට එරෙහි එල්ලවන සෑම ප්‍රහාරයක්ම හෙළා දකින බව ශ්‍රී ලංකා රජය පවසයි.
විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය විසින් මේ බව දැනුම්දී ඇත්තේ, මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.
සිවිල් පුරවැසියන්ට ඍජු තර්ජනයක් වන, මැදපෙරදිග කලාපයේ සහ බටහිර ආසියාවේ ඉතා වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව සිය කකණගාටුවට ද එහිදී ප්‍රකාශ කර තිබේ.
සෑම ආකාරයකින්ම සිවිල් පුරවැසියන් ආරක්ෂා කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ප්රමුඛ වගකීමක් බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.
මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය ආරක්ෂා කිරීමත් සමඟ ගෝලීය සාමය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම තවදුරටත් ස්ථිරව පවත්වාගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පවතින බරපතළ මානුෂීය අර්බුදය සැලකිල්ලට ගනිමින්, එම තත්ත්වය ගෝලීය ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළඳාමට සෘජුව බලපාන ආකාරය පිළිබඳව ද වර්ධනය වන තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වේ. ඒ සමඟම එම තත්ත්වය හේතුවෙන් ලොව පුරා රටවල් රැසකට මුහුණ දීමට සිදුව ඇති ප්‍රතිවිපාක පිළිබඳවද අවධානය යොමු කරමින් සිටින බව සඳහන් වේ.
තවද ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීන්ත්වයට එරෙහිව බලය භාවිතා කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්ම සහ අරමුණු ගරු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කරයි.
සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දැඩි කැපවීමක් ඇති රාජ්‍යයක් ලෙස, මෙම මූලික මූලධර්මවලට ගරු කරන ලෙස යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු පාර්ශ්වයන් උපරිම සංයමයකින් කටයුතු කළ යුතු බවත්, භයානක ලෙස උග්‍ර වෙමින් පවතින මෙම තත්ත්වය තවදුරටත් දරුණු වීම වැළැක්වීම සඳහා සාකච්ඡා මාර්ගයට නැවත පැමිණෙන ලෙසත් ශ්‍රී ලංකාව අවධාරණය කරයි.
කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වය, සාමය සහ ආරක්ෂාවට එල්ල වන බරපතළ තර්ජන සැලකිල්ලට ගනිමින්, ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීම සඳහා අර්ථවත් සංවාදයක නිරත වන ලෙසත් තීරණාත්මක පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.



