ප්‍රධාන පුවත්

රුසියානු තෙල් ලබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව – රුසියාව අතර හදිසි සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයා අතර විශේෂ හදිසි හමුවක් අද (13) දහවල් විදේශ අමාත්‍යංශයේදී පැවැත්විණි.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලයට ඇතිවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳ අවස්ථාව පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. ඒ සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟ එම අවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකාව විසින් අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අමතර විසඳුමක් ලෙස රුසියානු ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව විදේශ අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයා සමඟ මෙහිදී සාකච්ඡා කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ මෙම ඉල්ලීම වහාම රුසියානු රජය වෙත දැනුම් දීමට තානාපතිවරයා එකඟතාව පළ කර ඇති අතර, අවශ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් එයට අදාළ කටයුතු සම්පාදනය කිරීමට ද ඔහු පොරොන්දු වී ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක රුසියාවෙන් සහාය ලබාදීමට සූදානම් බවද තානාපතිවරයා මෙම හමුවේදී අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට කම්කරු, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය Anil Jayantha Fernando මහතා, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති D. J. Rajakaruna මහතා, අමාත්‍යංශ ලේකම්වරුන් සහ අදාළ නිලධාරීහු ද සහභාගී වූහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button