
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා සම්බන්ධයෙන් තීරණයක්
අමෙරිකානු හා ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් එරට ‘විශේෂඥ මණ්ඩලය’ (Assembly of Experts) විසින් මේ වනවිට තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන රාජ්‍ය පුවත් සේවය වන ‘ෆාර්ස්’ (Fars) පුවත් සේවය ප්‍රසිද්ධ කළ වීඩියෝවකදී අදහස් දක්වමින්, එම මණ්ඩලයේ සාමාජිකයෙකු වන අයතුල්ලා මොහොමඩ් මෙහ්දි මීර්බගේරි සඳහන් කර ඇත්තේ බහුතර එකඟතාවය මත පදනම්ව ස්ථිර තීරණයක් මේ වනවිටත් ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, මීළඟ උත්තරීතර නායකයා ලෙස පත්කෙරෙන පුද්ගලයාගේ නම මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම තීරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මීර්බගේරි ප්‍රකාශ කර ඇත්තේ පවතින සංකීර්ණ තත්ත්වයන් හමුවේ මෙම ක්‍රියාවලිය ඉතා සැලකිල්ලෙන් සහ ප්‍රවේශමෙන් සිදු කළ යුතු බවයි. එමෙන්ම එය මතභේද ඇති කරන ආකාරයකින් සිදු නොවිය යුතු බවද ඔහු අවධාරණය කර ඇත.
දශක හතරකට ආසන්න කාලයක් ඉරානය පාලනය කළ අයතුල්ලා අලි කමේනි, ඔහුගේ අනුප්‍රාප්තිකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඝාතනයට ලක්ව තිබුණි.
එම හේතුවෙන් නව උත්තරීතර නායකයා තෝරාගැනීමේ වගකීම එරට පූජක පාලන තන්ත්රයට පැවරී තිබේ.
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ පූජකවරුන් 88 දෙනෙකුගෙන් සමන්විත ‘විශේෂඥ මණ්ඩලය’ (Assembly of Experts) කටයුතු කරන බව සඳහන් වේ.



