අද විශේෂ

ඉරාන නාවිකයින්ට මාසයක සහන වීසා ලබාදීමට තීරණය

ඉරාන නෞකාවලින් මුදාගත් නාවිකයින්ට මාසයක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය රැකවරණය ලබාදීමට රජය කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

එවැනි තීන්දු ඉදිරියටත් ගනු ඇති බවත්, ඒ මගින් කිසිදු පාර්ශ්වයකට සහාය දැක්වීමක් හෝ පීඩාවක් ඇතිවන ආකාරයට ශ්‍රී ලංකාව ක්‍රියා නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර සම්මුති හා නාවික නීතිරීති අනුගමනය කරමින් නොබැඳී ප්‍රතිපත්තියක් යටතේ ඉරාන නාවිකයින් සම්බන්ධයෙන් කටයුතු කළ බවද ඔහු පැවසීය.

එමෙන්ම රටේ ජනතාවගේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව ඉතා සැලකිලිමත්ව කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගෝලීය වශයෙන් ඇතිවෙමින් පවතින යුදමය තත්ත්වයන් හමුවේ වක්‍ර බලපෑම් ඇතිවිය හැකි නමුත්, ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කරගනිමින් රජය කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනවලින් අනතුරුව හිටපු බුද්ධි ප්‍රධානියෙකු වන සලේ මහතා අත්අඩංගුවට ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම විමර්ශන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ සාධාරණව සිදුවෙමින් පවතින බවත්, මෙතෙක් සිදුකළ පරීක්ෂණ අනුව හිටපු බුද්ධි ප්‍රධානියාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ දැනුවත්භාවයක් තිබූ බවට සාක්ෂි ලැබී ඇති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඔහු වැරදිකරුවෙකුද නැද්ද යන්න අධිකරණ ක්‍රියාවලිය මගින් තීරණය කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ කණ්ඩායම් විවිධ ප්‍රකාශ සිදු කළද විමර්ශන සඳහා අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තැබීමට පොලිසියට නීතිමය හැකියාව පවතින බවත්, මෙම සිද්ධියද එවැනි ක්‍රියාවලියක් යටතේ සිදුකර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button