
ජනාධිපති ට්‍රම්ප්ගේ බලය සීමා කිරීමට ගෙනා සෙනට් යෝජනාව පරාජයට
ඉරානයට එරෙහි යුද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත්ව තිබේ.
කොංග්රස් අනුමැතියකින් තොරව ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග නතර කළ යුතු බව සඳහන් කරමින් එම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර එය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 47ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 53ක් ලැබීම හේතුවෙන් එය පරාජයට පත්ව ඇත.
එම යෝජනාව සෙනට් සභාවේදී පරාජයට පත්වීමත් සමඟ ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එමෙන්ම ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර ද තවදුරටත් තීව්ර කර තිබේ. ගොඩබිම් මාර්ගයෙන් ද ලෙබනනය තුළ ප්‍රහාර ක්‍රියාත්මක වන අතර එම ගැටුම්වලින් පුද්ගලයින් 72 දෙනෙකු පමණ මියගොස් ඇති බව සඳහන් වේ.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ කිසිවිටකත් යටත් නොවන බව හිස්බුල්ලා සංවිධානය අවධාරණය කර තිබේ.
එම සංවිධානයේ නායක නයිල් කසේම් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඊශ්‍රායලයට එරෙහිව සිදුකරන ප්‍රහාර නතර කිරීමට තම සංවිධානය සූදානම් නොවන බවයි.
මේ අතර දකුණු ලෙබනන් ප්‍රදේශයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර දැඩි ගැටුම් පවතින බව ද වාර්තා වේ.
තවද සෞදි අරාබියාව වෙත එල්ල වූ කෘස් මිසයිල තුනක් විනාශ කිරීමට හැකි වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අල් කරාජ් නගරය ඉලක්ක කර එල්ල කළ එම මිසයිල ප්‍රහාර තුන සාර්ථකව අහෝසි කිරීමට හැකි වූ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.



