
ග්‍රාම නිලධාරීන්ගේ ශ්‍රේණි ගැටලුවට සුබවාදී පොරොන්දුවක් –නිහඬ විරෝධය තාවකාලිකව නවතයි
2009/2010 වසරවල බඳවා ගත් ග්‍රාම නිලධාරීන්ගේ ශ්‍රේණි ගැටලුව සම්බන්ධයෙන් මාර්තු 3 වැනිදා රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර තිබූ නිහඬ විරෝධතාව තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.
එම තීරණය ගෙන ඇත්තේ 2009/2010 කණ්ඩායමේ ග්‍රාම නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරු (ස්වදේශ කටයුතු හා ග්‍රාම නිලධාරී පාලන), ආයතන අධ්යක්ෂ ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.
එම සාකච්ඡාවේදී, ග්‍රාම නිලධාරීන්ගේ ශ්‍රේණි ගැටලුව පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි සතිය ඇතුළත ලිඛිත විසඳුමක් ලබාදෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇති බව එම එකමුතුවේ මාධ්‍ය ලේකම් කුමුදු වඩුමුල්ල මහතා සඳහන් කළේය.
මෙම එකඟතාව මත මාර්තු 3 දින පැවැත්වීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාවය තාවකාලිකව අවලංගු කර ඇති අතර, ඉදිරි සතිය තුළ නිශ්චිත විසඳුමක් නොලැබේ නම් මාර්තු 16 දින දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සමඟ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට යොමුවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.



