අද විශේෂ

එකම ක්‍රමවලට බැඳී සිටිමින් ජය අපේක්ෂා කළ නොහැකියි – කුමාර් සංගක්කාර

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩ පරාජයන්ට මුහුණ දෙන පසුබිමක, කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසන්නේ මෙය සරල තරග පරාජයකින් ඉක්මවූ ගැටලුවක් බවයි.

නවසීලන්තය සමඟ ඊයේ (25) පැවති තීරණාත්මක තරගයෙන් පසු සිය “X” ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වත්මන් අර්බුදය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට පමණක් සීමා නොවී, සමස්ත ක්‍රිකට් පද්ධතියම ආවරණය කරන දුර්වලතාවයක ප්‍රතිඵලයක් බවයි.

කණ්ඩායමේ පසුබෑම හමුවේ ක්‍රීඩකයින් මෙන්ම ආධාරකරුවන් ද දැඩි කණගාටුවට පත්ව ඇති බවත්, රට නියෝජනය කිරීමේ වගකීම සහ ගෞරවය නිසි ලෙස දරාගැනීම ක්‍රීඩකයින්ගේ යුතුකමක් බවත් සංගක්කාර අවධාරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අනෙකුත් රටවල් තාක්ෂණික සහ උපායමාර්ගික වශයෙන් වේගයෙන් ඉදිරියට යමින් සිටින අතර, ශ්‍රී ලංකාව තවමත් පැරණි ක්‍රමවේදවලට ආසක්තව සිටීම පරාජයන්ට ප්‍රධාන හේතුවක් වන බවයි.

“එකම දේ නැවත නැවතත් කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකියි” යන අදහස අවධාරණය කරමින් ඔහු සඳහන් කළේ, කාලයට අනුව යාවත්කාලීන වීමට අපොහොසත් වන්නේ නම්, ජාත්‍යන්තර ක්‍රිකට් අඟළ තුළ ශ්‍රී ලංකාවට හිමි වූ පිළිගැනීම සහ බලපෑම අහිමි විය හැකි බවයි.

ඒ අනුව, ක්‍රිකට් පරිපාලනයේ සිට ක්‍රීඩා පිටිය දක්වා සෑම මට්ටමකම සංශෝධන සහ ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කළ යුතු බව සංගක්කාර සිය සටහනෙන් තවදුරටත් අවධාරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button