ප්‍රධාන පුවත්

2026 විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් අද සිට

2026 වර්ෂයට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, මාර්තු 18 දක්වා විදුලි පාරිභෝගිකයින්ට තම අදහස් ඉදිරිපත් කළ හැකි බවයි.

වාචික අදහස් ලබා ගැනීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි ස්ථාන 5කදී මහජන හමුවීම් පැවැත්වීමට සැලසුම් කර ඇත. එහි පළමු හමුව මාර්තු 7 දින අම්පාරේදී පැවැත්වෙන අතර, මාර්තු 11 වව්නියාවේදී, මාර්තු 12 මාතලේදී, මාර්තු 16 හම්බන්තොටදී සහ අවසන් වාචික උපදේශනය මාර්තු 18 දින පැවැත්වීමට නියමිතය.

ලැබෙන සියලු යෝජනා හා අදහස් සලකා බැලීමෙන් අනතුරුව කොමිෂන් සභාවේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් පියවර නොගන්නා බව පවසමින් එහි කාර්මික ශිල්පීන්ගේ සංගමය ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත විය හැකි බව ද සඳහන් කරයි. එම සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, ඒ පිළිබඳ අවසන් තීරණය අද දින ගැනීමට නියමිත බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button