විදෙස්

AI Impact Summit 2026 දී චීන Unitree Go2 රොබෝ සුනඛය සම්බන්ධ වාදය – ඉන්දියානු විශ්වවිද්‍යාල කුටිය ඉවත් කරයි

ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වෙන AI Impact Summit 2026 සමුළුවට සමගාමීව ඇති ප්‍රදර්ශනයකදී, චීනයේ නිෂ්පාදිත රොබෝ සුනඛයක් තමන්ගේම නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළ බවට චෝදනා එල්ල වූ ඉන්දියානු විශ්වවිද්‍යාලයක කුටිය ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට ලක්වූ තොරතුරු අනුව, අදාළ රොබෝ සුනඛය වන්නේ චීනයේ Unitree Go2 මොඩලය වන අතර එය ඩොලර් 2,800 කට ආසන්න මිලකට මිලදී ගැනීමට හැකි බව සඳහන් වේ. මෙම රොබෝ සුනඛය ගෝලීය වශයෙන් පර්යේෂණ හා අධ්‍යාපන කටයුතු සඳහා බහුලව භාවිතා වන නිෂ්පාදනයක් ලෙසද හඳුනාගෙන ඇත.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, ඉන්දියාවේ කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය සහ නවෝත්පාදන සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතු වී තිබේ.

කෙසේ වෙතත්, අදාළ විශ්වවිද්‍යාලයේ සාමාජිකයින් පසුව පැහැදිලි කර ඇත්තේ එම රොබෝවරයා විශ්වවිද්‍යාලයේ නිර්මාණයක් නොවන බවත්, එවැනි ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවත්ය. ප්‍රදර්ශන කුටිය ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද වාර්තා වේ.

මෙම සමුළුව නවදිල්ලියේ භාරත් මණ්ඩපම් හිදී පැවැත්වෙන අතර, AI වගකීම් සහගතව භාවිත කිරීම හා මානව යහපත උදෙසා නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන සංවිධානය කර ඇත.

AI Impact Summit 2026 සමුළුව පසුගිය 16 වනදා ආරම්භ වූ අතර එය එළැඹෙන සිකුරාදා දක්වා දින පහක් පුරා පැවැත්වෙයි. රටවල් 20ක රාජ්‍ය නායකයින් සහ රටවල් 45කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් මෙයට එක්ව සිටිති.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වී සිටියි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button