
ජනපතිට පරුෂ වචනයෙන් බැණ වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහැරූ 5 දෙනෙක් අත්අඩංගුවට
මත්තල අධිවේගී පිවිසුම අසල සිදුවූ උණුසුම් තත්ත්වයකින් අනතුරුව, ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ එය වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරූ පුද්ගලයින් පස් දෙනෙකු කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, කටාන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් ඊයේ (17) දින සිදුවූ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බවයි.
ඊට අමතරව, එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි මත්තල අධිවේගී පිවිසුම අසල පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී තිබේ. ඒ අනුව, පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙතත්, අනෙක් නිලධාරීන් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙතත් මාරු කර යවා ඇත.
විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ අශෝභන ලෙස හැසිරුණු පිරිසට එරෙහිව නීතිමය පියවර නොගැනීම හේතුවෙන් මෙම ස්ථාන මාරු සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියට මූලික වූයේ, කතරගම වන්දනාවෙන් ආපසු පැමිණෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීමට පොලීසිය අවසර නොදීමයි. එම බස් රථයේ ආසන පටි නොමැතිවීම හේතුවෙන් එය අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීමට ඉඩ නොදුන් බව පොලීසිය පවසයි.
ඒ සමඟ බස් රථයේ ගමන් කළ පිරිස සහ පොලීසිය අතර බහින්බස්වීමක් හටගෙන ඇති අතර, එම අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම ප්‍රකාශ කරමින් පරුෂ වචන භාවිත කර ඇත. එම සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ කර පසුව සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදුකරනු ලබයි.



