
හෙට (16) දිනයේ රටපුරා අධිකරණ කටයුතු වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කරයි
හෙට (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) තීරණය කර තිබේ.
අකුරේගොඩ ප්‍රදේශයේ සිදුවූ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා සංගමයේ මහ සභාව අද (15) කොළඹදී රැස්වුණි.
එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මහ සභාව විසින් ඒකමතිකව තීරණ 4ක් අනුමත කළ බවයි.
ඒ අනුව, අදාළ සිද්ධියට විරෝධය පළ කරමින් සහ නීතිඥවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, හෙට දිනයේ රටපුරා අධිකරණ කටයුතු වර්ජනය කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
සංගමය විසින් ගනු ලැබූ ඒකමතික තීරණ හතර පහතින් දැක්වේ.
1. වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.
2. දිව ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.
3. මෙම කූර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.
4. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.
වසර 14කට පසුව අද රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමට නීතිඥයින් 3,500ක පමණ පිරිසක් සහභාගී වූ බවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඇතැමුන් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ බවත් නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
රැස්වීමේ දී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එම ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



