
e-BMD ඩිජිටල් සේවාවෙන් විදෙස්ගත ලාංකිකයින් 8,027කට ප්රතිලාභ – තානාපති කාර්යාල 62ක් හරහා සේවාව
රජයේ පොදු සේවා ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා හඳුන්වා දුන් e-BMD පද්ධතිය පළමු වසර තුළම පුද්ගලයින් 8,027 දෙනෙකුට සෘජු ප්රතිලාභ ලබාදී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය මෙහෙයවීමෙන් 2025 ජනවාරි 06 වනදා රටවල් 07ක නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම e-BMD වැඩසටහන ආරම්භ කෙරිණි. ඉන් අනතුරුව 2025 පෙබරවාරි 07 සිට එය විදේශ තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල 62ක් දක්වා ව්‍යාප්ත කර ඇත.
මෙම ඩිජිටල් පද්ධතිය හරහා විදෙස්ගත ලාංකිකයින්ට තම උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ පිටපත්, අදාල රටේ තානාපති කාර්යාලය හෝ මහ කොමසාරිස් කාර්යාලය මගින් සෘජුව ලබාගැනීමේ හැකියාව ලැබේ. එම සහතික නෛතික පිළිගැනීමකින් යුතුව නිකුත් කෙරෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම හෝ දිගු ක්‍රියාවලියකට යොමුවීම අවශ්‍ය නොවේ.
එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, මැලේසියාව සහ ඉන්දියාව ඇතුළු යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු කලාප රැසක වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙම සේවාව ප්‍රයෝජනවත් වේ.
තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල සෘජුවම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ කිරීම මගින් ලේඛනවල විශ්වසනීයත්වය සහ ආරක්ෂාව තහවුරු කර ඇත. එමෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය විසින් සපයන තත්‍ය කාලීන (Real-time) තාක්ෂණික සහාය හේතුවෙන් සේවාව බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට හැකිවී තිබේ.



