අධ්‍යාපන

බස්නාහිර පළාතේ තෙවන වාර විභාගය හෙට සහ අනිද්දා නියමිත පරිදි

2026 වර්ෂයට අදාළ බස්නාහිර පළාතේ තෙවන වාර විභාගය හෙට (30) සහ අනිද්දා (01) දිනවල සැලසුම් කළ පරිදි පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර අවසන් බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, 6 සහ 7 ශ්‍රේණිවල සිසුන් සඳහා ගණිතය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂයයන් යටතේ විභාග පැවැත්වීමට නියමිත අතර, 8 සහ 9 ශ්‍රේණිවල සිසුන් සඳහා විද්‍යාව සහ සෞන්දර්ය විෂයයන්ට අදාළව විභාග පැවැත්වීමට සැලසුම් කර ඇත.

විභාගයට අවශ්‍ය සියලුම ලිඛිත ප්‍රශ්න පත්‍ර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර තිබේ. එම ප්‍රශ්න පත්‍ර මේ වන විටත් ආරක්ෂිතව කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත භාරදීමට පියවර ගෙන ඇති බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

මුද්‍රණය කර ඇති ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාව අනුව 6 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍ර 145,383ක් ද, 7 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍ර 150,263ක් ද සකස් කර තිබේ.

එමෙන්ම 8 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍ර 145,437ක් සහ 9 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍ර 144,527ක් මුද්‍රණය කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් විභාගය පැවැත්වීමට අදාළ සියලු සංවිධාන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවද බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button