ගොසිප්

පැය 4ක් මුහුදේ පිහිනා පවුල බේරාගත් පුංචි වීරයා

ඔස්ට්‍රේලියාවේ සිදුවූ අතිවිශිෂ්ට වීරත්වයකි මේ.

මුහුදේ ගසාගෙන ගිය සිය මව, බාල සහෝදරයා සහ සහෝදරිය බේරාගැනීමට උදව් ලබාගැනීමේ අරමුණින්, පැය හතරකට අධික කාලයක් මුහුදේ පිහිනා ගොඩබිමට පැමිණි 13 හැවිරිදි දරුවෙකු පිළිබඳ විස්මයජනක පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

මෙම සිද්ධිය පසුගිය සති අන්තයේදී සිදුවී ඇති අතර, එහි ප්‍රධාන චරිතය වන්නේ 13 හැවිරිදි ඔස්ටින් ඇපල්බී නම් දරුවෙකි.

ඔස්ටින්, සිය 47 හැවිරිදි මව සහ බාල සහෝදර සහෝදරියන් දෙදෙනා සමඟ ඉකුත් සිකුරාදා දහවල් ජියෝග්‍රැපී බොක්ක ආශ්‍රිත ක්යින්ඩලුප් නගරයට ආසන්න වෙරළ ප්‍රදේශයේ විනෝදය සඳහා බෝට්ටු පැදීමට ගොස් තිබේ.

එහිදී අනපේක්ෂිත ලෙස මුහුදේ සුළං තත්ත්වය දැඩිවීමත් සමඟ මුහුද රළු වී, ඔවුන් ක්‍රමයෙන් වෙරළෙන් ඈත මුහුද දෙසට ගසාගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී කිසිදු අයුරකින් උපකාර ඉල්ලා සිටීමටද ඔවුන්ට හැකියාව ලැබී නොමැත.

මෙවන් අසීරු පසුබිමක, පැය කිහිපයක් ගතවූ පසු සිය මව සහ සහෝදර සහෝදරියන් බේරාගැනීමට උදව් රැගෙන ඒමේ අරමුණින්, ඔස්ටින් විසින් තනිවම මුහුදේ පිහිනමින් ගොඩබිමට ළඟා වීමට තීරණය කර ඇත.

සන්ධ්‍යා අඳුර මැද, කිලෝමීටර 4කට ආසන්න දුරක් පැය 4කට වැඩි කාලයක් පුරා ඔහු පිහිනා පැමිණ තිබේ. එහිදී මුල් පැය දෙක ආරක්ෂිත කබාය පැළඳ පිහිනමින් සිටි ඔස්ටින්, පසුව එය බාධාවක් වීම හේතුවෙන් කබාය ඉවත් කර ඉතිරි පැය දෙක ධනාත්මක සිතුවිලි සහ විශ්වාසය මත පිහිනීමට කටයුතු කර ඇත.

අතිශය වෙහෙසකර සහ අනාරක්ෂිත ගමනකින් පසු ගොඩබිමට ළඟා වූ ඔහු, එහි තිබූ බෑගයකින් සිය මවගේ ජංගම දුරකථනය ලබාගෙන හදිසි ඇමතුම් අංක අමතා වහාම උදව් ඉල්ලා ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ සෝදිසි සහ මුදාගැනීමේ කණ්ඩායම්, බෝට්ටු සහ හෙලිකොප්ටරයක් යොදා ගනිමින් සිදු කළ මෙහෙයුමකින්, ගොඩබිමෙන් කිලෝමීටර 14කට ආසන්න දුරකින් මුහුදේ රැඳී සිටි මව සහ දරු දෙදෙනා රාත්‍රී 8.30ට පමණ නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වී ඇත.

මෙලෙස බේරාගනු ලැබුවේ 47 හැවිරිදි මව, 12 හැවිරිදි පිරිමි දරුවෙකු සහ 8 හැවිරිදි ගැහැණු දරුවෙකු වේ.

ගොඩබිමට ළඟා වී උදව් ඉල්ලා සිටීමෙන් පසු ඔස්ටින් ක්ලාන්ත වී ඇති අතර, පසුව ඔහුව රෝහල් ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මව සහ අනෙකුත් දරු දෙදෙනාද පසුව රෝහල් ගත කර ඇති අතර, මේ වනවිට ඔවුන් සියල්ලන්ම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔස්ටින් පවසා ඇත්තේ, ගොඩබිමට ළඟා වූ මොහොතේ එය සිහිනයක්දැයි තමන්ට සිතුණු බවයි.

ඔහුගේ මෙම අසාමාන්‍ය වීරත්වය පිළිබඳ අදහස් දක්වන බලධාරීන් පවසන්නේ, පුංචි ඔස්ටින් සැබවින්ම ‘superhuman’ වීරයකු බව ලෝකයම අද හඳුනාගෙන ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button