
ජනපති අනුර කුමාර දිසානායකගේ 58 වැනි උපන්දිනය අදයි
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතාගේ 58 වැනි උපන්දිනය අද (24) දිනට යෙදී තිබේ.
ජනපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන ගමන සහ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන
1968 නොවැම්බර් 24 වැනිදා මාතලේ, දෙවහුව ප්‍රදේශයේ උපත ලැබූ අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමන ආරම්භ වූයේ ශිෂ්‍ය දේශපාලනය ඔස්සේය.
ඔහු සිය මූලික අධ්‍යාපනය තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් ලබාගත් අතර, ද්විතීයික අධ්‍යාපනය තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් සම්පූර්ණ කළේය. අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් හිමිකර ගත්තේය.
1987 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය සමඟ සම්බන්ධ වෙමින් දේශපාලනයට පිවිසි ඔහු, 1997 වසරේදී එහි ජාතික සංවිධායක ධුරයට පත්විය. අනතුරුව 2000 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමි කරගත් අතර, 2004 වසරේදී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.
2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා, 2019 වසරේදී ජාතික ජන බලවේගය ගොඩනැගීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේය.
2019 ජනාධිපතිවරණයේදී සියයට 3.16ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ඔහු, ඉන් වසර පහකට පසු එනම් 2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් මෙරට දේශපාලන ක්ෂේත්රයේ සුවිශේෂී පෙරළියක් සනිටුහන් කළේය.
දශක ගණනාවක් පුරා දේශපාලන ක්ෂේත්රයේ අත්දැකීම් ලබමින්, විවිධ අභියෝග, පරාජයන් සහ ජයග්‍රහණවලට මුහුණ දුන් ඔහු 2024 සැප්තැම්බර් 22 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
ජනතාව ඔහු කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉටු කරමින් රටට සුබදායක අනාගතයක් උදාකර දීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ ප්‍රඥාව නිරතුරුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
නිරෝගී සුවය, දීර්ඝායුෂ, සතුට සහ සාර්ථකත්වය පිරි සුබ උපන්දිනයක් වේවා, ජනාධිපතිතුමනි!


