ප්‍රධාන පුවත්

විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගිතා ගිවිසුම් රැසකට කැබිනට් අනුමැතිය

විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගිතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙරට විශ්වවිද්‍යාල කිහිපයක් සහ විදේශීය උසස් අධ්‍යාපන ආයතන අතර අවබෝධතා ගිවිසුම් හා සහයෝගිතා ගිවිසුම් ඇති කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදේශීය විශ්වවිද්‍යාල සමඟ ගිවිසුම් රැසකට අනුමැතිය

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථාන කරා ගෙන යාම සහ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට පුළුල් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු වේ.

ඒ අනුව, මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගිතා ගොඩනැගීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත.

එම අනුමැතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ගිවිසුම් අතර පහත සඳහන් එකඟතා ද ඇතුළත් වේ.

කොළඹ විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය අතර ගිවිසුම

අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කිරීම, ප්‍රකාශන සහ අධ්‍යයන තොරතුරු හුවමාරු කර ගැනීම, අධ්‍යයන කාර්ය මණ්ඩලය, පර්යේෂණ විද්වතුන් සහ සිසුන් හුවමාරු කර ගැනීම මෙන්ම තාක්ෂණික සහාය ලබා ගැනීම මෙම ගිවිසුමේ අරමුණු වේ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ තායිලන්තයේ මහමකුට් බෞද්ධ විශ්වවිද්‍යාලය අතර ගිවිසුම

දෙපාර්ශ්වය අතර ශාස්ත්‍රීය කටයුතු සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීම වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුම ඇති කර ගැනීමට නියමිතය.

මොරටුව විශ්වවිද්‍යාලය සහ විදේශීය විශ්වවිද්‍යාල දෙකක් අතර ගිවිසුම

චීනයේ Xi’an Jiaotong-Liverpool විශ්වවිද්‍යාලය සහ ස්පාඤ්ඤයේ බාසිලෝනාහි Universitat La Salle සමඟ එක්ව පර්යේෂණ සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිතව තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ RMIT ආයතනය අතර ගිවිසුම

ඔස්ට්‍රේලියාවේ රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය (RMIT) සමඟ සහයෝගිතා පර්යේෂණ පුහුණු වැඩසටහන් පැවැත්වීම, අධ්‍යයන ප්‍රකාශන ඉදිරිපත් කිරීම සහ ඊට අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට නියමිතය.

මීට අමතරව, සහයෝගිතා පර්යේෂණ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ‘Umbrella Cotutelle Agreement’ ගිවිසුමකට ද එළඹීමට නියමිතව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button