
පාඨලීගේ අල්ලස් ප්‍රකාශයට පරිපාලන සේවා සංගමයෙන් දැඩි පිළිතුරක්
පාඨලීගේ අල්ලස් ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාඨලීගේ අල්ලස් ප්‍රකාශය කරුණු විකෘති කිරීමක් බව පරිපාලන සේවා සංගමය කියයි
අයවැය යෝජනා යටතේ රාජ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
අදාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පසුගිය අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට අල්ලසක් ලෙස දීමනාවක් ලබාදී ඇති බවට පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශය මඟින් සෘජුවම මෙන්ම වක්‍රාකාරයෙන්ද ඉලක්ක කර ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවය බව පැහැදිලි වන බවයි.
එම ප්‍රකාශය හේතුවෙන් තම සේවාවේ ගෞරවයට සහ නිලධාරීන්ගේ වෘත්තීය අභිමානයට බරපතළ හානියක් සිදුවන බවද සංගමය අවධාරණය කර තිබේ.
එමෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම කරුණු විකෘති කර දැක්වීමක් බවට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දැඩිව අවධාරණය කර ඇත.
තවද, අදාළ ප්‍රවාහන දීමනාව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් ලබාදෙන විශේෂ වරප්‍රසාදයක් නොවන බවත්, එය සමස්ත ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ නිලධාරීන්ට අදාළ වන සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයක් බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව, මෙම කරුණු සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව නිවැරදි කිරීමක් සිදුකිරීමට අදාළ පාර්ශ්වය කඩිනමින් පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය නිවේදනයෙන් දැනුම්දී තිබේ.



