කාලගුණය

ගිගුරුම් සහිත වැසි ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශ කිහිපයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශ සහ බෙංගාල බොක්කේ වර්ධනය වන සුළි කුණාටුව ගැන කාලගුණ අනාවැකියක්

ඊයේ (15) රාත්‍රී 11.30 වනවිට මෙම කාලගුණ පද්ධතිය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 640ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබී ඇත. එය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඈතට ගමන් කරමින් පවතින බවද වාර්තා වේ.

අද (16) සවස් කාලය වනවිට දකුණු සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මෙම පද්ධතිය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ පවතී. එමෙන්ම නොවැම්බර් 17 වැනිදා වනවිට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව එය ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්විය හැකි බවටද අනාවැකි පළ කර තිබේ.

මේ අතර, දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද (16) සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලද වරින් වර වැසි ඇතිවිය හැකිය.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් ඒවායින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.

තවද, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button