
රජයේ බදු නොවන ආදායම මාස 8කදී 39.1%කින් ඉහළට
රජයේ බදු නොවන ආදායම 2026 වසරේ පළමු මාස අට තුළදී පෙර වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව සියයට 39.1ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 314.8ක් දක්වා ඉහළට
අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ 2027 වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
එම වාර්තාවට අනුව 2025 වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 226.2ක් ලෙස වාර්තා වූ බදු නොවන ආදායම, 2026 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 314.8ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ආදායම රජයේ සමස්ත ආදායමෙන් සියයට 7.9ක දායකත්වයක් ලබාදී ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
බදු නොවන ආදායම ඉහළ යාමට බලපෑ හේතු
මහ බැංකුවෙන් ලද රුපියල් බිලියන 42.1ක ලාභ පැවරීම් ඇතුළුව ලාභ හා ලාභාංශ, කුලී, දඩ, ගාස්තු සහ අයකිරීම්, පොලී ආදායම මෙන්ම සමාජ ආරක්ෂණ දායකත්වයෙන් ලැබුණු ආදායම් ඉහළ යාම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
ඒ අනුව පොලී ආදායමද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. 2025 වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 43.4ක් වූ එම ආදායම, 2026 වසරේ අදාළ කාලසීමාවේදී රුපියල් බිලියන 51.7ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය සියයට 19.1ක වර්ධනයකි.
එමෙන්ම දඩ, ගාස්තු සහ අයකිරීම්වලින් ලැබුණු ආදායමද ඉහළ ගොස් ඇත. 2025 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 112.6ක් වූ එම ආදායම, මෙම වසරේදී රුපියල් බිලියන 133.6ක් දක්වා වර්ධනය වී තිබේ. එම වර්ධන අනුපාතය සියයට 18.7කි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් අයකරනු ලබන ගාස්තු හා අයකිරීම්වලින් ලැබෙන ආදායමද මෙම වර්ධනයට දායක වී තිබේ.
තවද රාජ්‍ය සේවක වැටුප් ඉහළ යාම සහ දායකත්ව අනුපාත වැඩි කිරීම හේතුවෙන් සමාජ ආරක්ෂණ දායකත්වයෙන් රජයට ලැබුණු ආදායමද ඉහළ ගොස් ඇත.
ඒ අනුව 2025 වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 36.6ක් වූ එම ආදායම, 2026 වසරේ සමාන කාලසීමාව තුළ රුපියල් බිලියන 45.3ක් දක්වා වැඩි වී තිබේ.
කුලී ආදායමද පෙර වසරට සාපේක්ෂව සියයට 31.8ක වර්ධනයක් වාර්තා කර ඇත. 2025 වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 3.9ක් වූ එම ආදායම මෙම වසරේදී රුපියල් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර රජය සතු ව්‍යවසායන්ගෙන් ලැබුණු ලාභ සහ ලාභාංශ ආදායමද වර්ධනය වී ඇත. 2025 වසරේ අදාළ කාලසීමාවේදී රුපියල් බිලියන 14.6ක් ලෙස පැවති එම ආදායම, 2026 වසරේදී රුපියල් බිලියන 19.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 36ක වර්ධනයකි.
මේ අනුව 2026 වසර සඳහා රජය විසින් ඇස්තමේන්තු කර තිබූ රුපියල් බිලියන 360ක බදු නොවන ආදායම් ඉලක්කයෙන් සියයට 87.4ක්ම පළමු මාස අට තුළදී සපුරා ගැනීමට හැකි වී ඇති බවද අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.



