ප්‍රධාන පුවත්

අතුරුදන් වූ 15 හැවිරිදි දැරියගේ අභිරහස විසඳෙයි – මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවක සිටියදී සොයාගැනේ

මාස පහකට පෙර අතුරුදන් වූ 15 හැවිරිදි දැරියක් පිළිබඳ පැමිණිල්ලකට අදාළව සිදුකළ පොලිස් විමර්ශනයකින්, ඇය මාස දෙකක් වයසැති බිළිඳියක් සමඟ කැලෑවක පිහිටි ගල් ගුහාවක ජීවත් වෙමින් සිටි බව අනාවරණය වී තිබේ.

අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය සොයාගැනීමේදී හෙළි වූ ගල් ගුහාවේ ජීවිතය

මෙම සිදුවීම වාර්තා වන්නේ නකල්ස් කඳුකරයේ බටහිර බෑවුම ආසන්නයේ පිහිටි මීමුරේ කන්දකැටිය ප්‍රදේශයෙනි. උඩුදුම්බර පොලිස් වසමට අයත් මෙම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය අතුරුදන්වීමෙන් පසු ඇගේ පවුලේ සාමාජිකයින් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබූ අතර, එහිදී සැකකටයුතු ලෙස හැසිරුණු තරුණයෙකු සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.

අදාළ තරුණයා ප්‍රදේශයේ වෙළෙඳසැලකින් දිනපතා සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා වැඩි සහල් ප්‍රමාණයක් මිලදී ගැනීම පිළිබඳව සැක කළ පොලිසිය ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව තවදුරටත් සොයාබලා තිබේ.

එම තොරතුරු ඔස්සේ සිදුකළ නිරීක්ෂණවලදී තරුණයා ජනාවාසවලින් ඈත්වූ කැලෑබද ස්ථානයකට යන බව හඳුනාගත් පොලිස් නිලධාරීන් ඔහු පසුපස ගොස් පරීක්ෂා කර ඇත.

එහිදී ඉටි රෙදි යොදා ආවරණය කළ ගල් ගුහාවක් තුළ සිටි දැරියක් සහ බිළිඳියක් හමුවී තිබේ. පසුව සිදුකළ හඳුනාගැනීමේදී එම තරුණිය මාස පහකට පෙර අතුරුදන් වූ බවට පැමිණිලි කර තිබූ 15 හැවිරිදි දැරිය බව තහවුරු වී ඇත.

මෙම ස්ථානයේ සිටි බිළිඳියගේ පියා බව කියන 23 හැවිරිදි තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, බාලවයස්කාර මව සහ බිළිඳිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ බිළිඳියගේ උපත සිදුවී ඇත්තේ මෙම ගල් ගුහාව තුළදීම බවයි. දරු ප්‍රසූතියෙන් පසු බිළිඳියගේ පෙකණි වැල කිතුල් කර්මාන්තයේදී භාවිත කරන තියුණු ආයුධයකින් කපා ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

එමෙන්ම කැලෑවෙන් සොයාගත් බව කියන අත්බෙහෙත් වර්ග භාවිත කරමින් මවට සහ දරුවාට ප්‍රතිකාර කර ඇති බවත්, කිතුල් පැණි නිෂ්පාදනය සඳහා යොදාගන්නා තාච්චියක බිළිඳිය නහවා ඇති බවත් 23 හැවිරිදි තරුණයා පොලිසියට පවසා තිබේ.

සිද්ධියට අදාළව තරුණයාට සහාය ලබාදුන් බව කියන ඔහුගේ 36 හැවිරිදි ඥාතියෙකු ද උඩුදුම්බර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් භාරයට ගත් මව සහ මාස දෙකක් වයසැති බිළිඳිය පිරිසිදු කිරීමෙන් අනතුරුව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා මහනුවර ජාතික රෝහල වෙත යොමු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button