
කොටස් වෙළෙඳපොළේ රුපියල් 10,000ක් ආයෝජනයට සිසුන්ට අවස්ථාවක්
කොටස් වෙළෙඳපොළේ රුපියල් 10,000ක් ආයෝජනය කිරීමේ අවස්ථාව වයස අවුරුදු 18 ඉක්මවූ පාසල් සිසුන්ට ලබාදීමේ වැඩසටහනක් 2027 අයවැය යෝජනාව යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා ප්‍රකාශ කර ඇත.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ පාසල් සිසුන්ට කොටස් වෙළෙඳපොළ පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම සහ අනාගත ව්‍යවසායකත්වයට අවශ්‍ය මූල්‍ය දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
මෙම අවස්ථාව සඳහා අයදුම් කළ හැක්කේ වයස අවුරුදු 18ට වැඩි, 13 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන්ටය.
ඒ සඳහා ඉදිරිපත් වන සිසුන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් හඳුන්වාදෙන පාඨමාලාවක් සම්පූර්ණ කළ යුතු අතර, ඉන් අනතුරුව පැවැත්වෙන විභාගයෙන් සමත්වන සිසුන්ට රුපියල් 10,000ක ආයෝජන අවස්ථාව හිමිවන බව විජේසුන්දර මහතා සඳහන් කර තිබේ.
මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කර ඇති බවද ඔහු පැවසීය. නාගරික පාසල්වල සිසුන්ට පමණක් නොව ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත පාසල්වල දරුවන්ටද මෙම අවස්ථාව ලබාදීම වැඩසටහනේ අපේක්ෂාවකි.
කොටස් වෙළෙඳපොළ හරහා ආයෝජනය කිරීමෙන් ප්රතිලාභ ලබාගත හැකි ආකාරය පිළිබඳ ප්‍රායෝගික දැනුමක් සිසුන්ට ලබාදීම මෙහි තවත් අරමුණකි. එමෙන්ම අනාගතයේදී ව්‍යවසායකයින් බවට පත්වන සිසුන්ට කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා අවශ්‍ය ප්රාග්ධනය සපයා ගැනීමේ හැකියාව පිළිබඳ අවබෝධයක් ලබාදීමටද මෙයින් අපේක්ෂා කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා,
“ඊයේ දිනයේදී අතිගරු ජනාධිපතිතුමා සිය අයවැය ප්රකාශනයේදී ‘සැමට කොටසක්, සැමට ඒකකයක්’ යන සංකල්පය පිළිබඳව සඳහන් කළා. ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි, 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන් අයදුම් කිරීමෙන් අනතුරුව අප විසින් හඳුන්වා දෙනු ලබන පාඨමාලාවක් හැදෑරිය යුතුයි. එම පාඨමාලාව හැදෑරීමෙන් පසුව විභාගයක් පැවැත්වෙනවා. එම විභාගයෙන් සමත් වන සෑම සිසුවෙකුටම රුපියල් 10,000ක ආයෝජන අවස්ථාවක් හිමි වෙනවා.
මෙම වැඩසටහන හරහා අපේක්ෂා කරන්නේ සෑම දරුවෙකුටම කොටස් වෙළෙඳපොළ තුළින් ආයෝජනය කර ලාභයක් උපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවබෝධයක් ලබාදීමයි. එමෙන්ම, අනාගතයේදී ඔවුන් ව්‍යවසායකයින් බවට පත්වූ පසු කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ප්රාග්ධනය සපයා ගැනීමට හැකියාවක් පවතින බව තහවුරු කරදීමත් මෙම වැඩසටහන හඳුන්වාදීමේ අරමුණක්. මේ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහන හරහා ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් අඩු පහසුකම් සහිත පාසල්වල දරුවන්ටත් මෙම අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරනවා. ”



