
වාහන මිල ගණන් අඩුවෙයිද? අයවැයෙන් පසු ආනයනකරුවන්ගෙන් පැහැදිලි කිරීමක්
අයවැයෙන් පසු වාහන මිල ගණන් සම්බන්ධයෙන් බලාපොරොත්තු වූ වෙනසක් සිදු නොවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. වාහන ආනයනය සඳහා බදු සහන ලබාදීමක් මෙවර අයවැයෙන් සිදු නොවීම හේතුවෙන් දැනට පවතින මිල ගණන්වල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව එම සංගමය පෙන්වා දෙයි.
වාහන මිල ගණන් අඩු නොවීමට හේතුව බදු සහ අධිභාර නොවෙනස්ව පැවතීමයි
සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගු මහතා සඳහන් කළේ, ඉදිරි වසර සඳහා ඉදිරිපත් කළ අයවැය මගින් වාහන ආනයනකරුවන්ට යම් සහනයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කළද එම බලාපොරොත්තුව ඉටු නොවූ බවය.
වාහන ආනයනය සඳහා සහන ලබා නොදීමට හේතු විමසමින් සිය සංගමය මුදල් අමාත්‍යාංශයෙන් ද කරුණු විමසා ඇති බව ඔහු පැවසීය. එහිදී මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ මෙරට ඩොලර් සංචිත සම්බන්ධයෙන් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කළ බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව වාහන ආනයනය සඳහා දැනට ක්‍රියාත්මක වන බදු සහ අධිභාරවල කිසිදු වෙනසක් සිදු නොවන බැවින් වාහන මිල ගණන් පහළ යාමක් අපේක්ෂා කළ නොහැකි බව අරෝෂ රොද්‍රිගු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
අයවැය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගු මහතා මෙසේ පැවසීය.
“අපි බලාගෙන හිටියා මේ සැරේ අයවැයෙන්වත් අපිට සහනයක් දෙයිද කියලා. නමුත් ඒ බලාපොරොත්තු සියල්ල කඩ කරමින් කිසිම වෙනසක් කරලා නෑ වාහන ආනයන බදු ප්‍රතිපත්තියේ. ඒ පනවපු බදු, ඒ පනවපු අධිභාර දිගටම පවත්වාගෙන යනවා කියන එක තමයි නැවතත් ප්‍රකාශ කළේ. අපි මුදල් අමාත්‍යාංශයෙනුත් ඇහුවා ඇයි අපිට කිසිම සහනයක් දෙන්නේ නැත්තේ කියලා. නමුත් ඒගොල්ලෝ කිව්වේ මේ වෙලාවේ තියෙන ඩොලර් පිළිබඳ ප්‍රශ්නයත්, මැදපෙරදිග තියෙන යුදමය තත්ත්වය නිසාත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය මත වාහන ආනයනයත් ලොකු දෙයක් නෙමෙයිද කියන එක තමයි අපෙන් ඇහුවේ… ඇත්තටම ගොඩදෙනෙක් වාහනයක් ගන්න වුවමනාවක් තියෙන අයත් බලාගෙන හිටියා වාහනයක් නොගෙන මේ බජට් එක වෙනකන්. නමුත් අපි හිතුවා ඒ කස්ටමර්ස්ලා ඇවිල්ලා වාහනයක් ගනී කියලා. මමත් දන්න ගොඩදෙනෙක් හිටියා වාහනයක් ගන්න එක නවත්වලා මේ බජට් එකෙන් සහනයක් දෙයි කියලා. නමුත් දැනට තියෙන තත්ත්වය කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා කිසිම වෙනසක් නෑ කියලා.. තාම ඉතිං වෙනසක් කරලා නැති නිසා කිසිම විදිහකින් අඩුවීමක් වෙන්නේ නෑ.”



