
බිම්ස්ටෙක් සෞඛ්‍ය සමුළුවේ සභාපති ධුරය නලින්ද ජයතිස්සට
බිම්ස්ටෙක් සෞඛ්‍ය සමුළුවේ සභාපති ධුරය නලින්ද ජයතිස්සට
කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බිම්ස්ටෙක් සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවේ සභාපතිත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හිමිව තිබේ.
බිම්ස්ටෙක් සෞඛ්‍ය සමුළුවේ සභාපති ධුරය හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවට කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව මෙහෙයවීමේ වගකීමක්
අද (11) පෙරවරුවේ කොළඹදී ආරම්භ වූ බිම්ස්ටෙක් සෞඛ්‍ය සමුළුවේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව ඉදිරියට ගෙනයාමේ ප්‍රධාන වගකීමක් මෙරටට පැවරී ඇත.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන බිම්ස්ටෙක් සාමාජික රටවල් හතේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.
එහිදී කලාපීය මහජන සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම, බෝවන රෝග පාලනය, සෞඛ්‍ය හදිසි අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීම සඳහා සූදානම් වීම මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික සහ දැනුම් හුවමාරුව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.
සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම හරහා කලාපීය සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා මෙහෙයවීමටත්, සාමාජික රටවල් අතර ඒකාබද්ධ ක්‍රියාමාර්ග සඳහා නායකත්වය ලබාදීමටත් මෙරටට අවස්ථාව හිමිව තිබේ.
මේ අතර, 2025 ඔක්තෝබර් මාසයේදී කොළඹදී පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 78 වැනි දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය කමිටු සැසිවාරයේදී එම සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සභාපතිවරයා ලෙස ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්විය.
එසේම, 2026 ඔක්තෝබර් මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවර පැවති පස්වැනි ආසියානු – පැසිෆික් අමාත්‍ය සමුළුවේ (UNESCAP MC-5) උප සභාපති ධුරය ද අමාත්‍යවරයාට හිමිව තිබේ.



