සෞඛ්‍යය

සති දෙකකට වැඩි කැස්සක් ගැන අනතුරු ඇඟවීමක් – වහාම පරීක්ෂා කරගන්න

සති දෙකකට වැඩි කැස්සක් පවතිනවා නම් එය නොසලකා හැරීමෙන් වැළකී වහාම වෛද්‍ය පරීක්ෂණයකට යොමු විය යුතු බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය අවධාරණය කරයි.

සති දෙකකට වැඩි කැස්ස සමඟ රුධිරය පිටවීම ඇතුළු ලක්ෂණ ගැන විශේෂ අවධානයක්

සති දෙකකට වැඩි කැස්සක් පවතින පුද්ගලයන් ශ්වසන රෝග සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම අනිවාර්ය බව ඇය පෙන්වා දෙයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ කැස්ස සමඟ සෙම තුළ රුධිරය දක්නට ලැබීම හෝ රුධිරය පිටවීමක් සිදුවන්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරිය මෙසේ පැවසුවාය.

“ප්‍රථමයෙන්ම අපිට තියෙන ප්‍රධාන රෝග ලක්ෂණයක් තමයි කැස්ස. දුම්පානය කරන හැමෝටම කැස්ස සහ සෙම පිටවෙන කැස්ස වගේ දේවල් තියෙනවා. හැබැයි මේ කැස්ස හැමදාම පවතින්නේ නැහැ.

ප්‍රධාන වශයෙන් ගත්තොත් හැමෝටම සති දෙකකට වඩා කැස්සක් පවතිනවා නම් ඒක යම්කිසි විදියකින් පරීක්ෂා කරලා බලාගන්න ඕනේ මොකක් නිසාද කියලා. ඇදුම රෝගය වගේ දේවල් වලටත් කැස්ස සුළු සුළු වශයෙන් තියෙනවා. නමුත් තමන්ට කරදරකාරී කැස්සක්, සෙමත් සමඟ පවතින කැස්සක් සති දෙකකට වඩා තියෙනවා නම් ඒක පරීක්ෂා කරගන්න ඕනේ.

විශේෂයෙන්ම දුම්පානය කරන අයගේ විතරක් නෙමෙයි, ඕනෑම කෙනෙකුගේ කැස්සක් සමඟ රුධිරය පිට වුනොත් (සෙම සමඟ රුධිරය ගෑවී යාම හෝ සම්පූර්ණයෙන්ම ලේ පහවීම) වහාම ශ්වසන රෝග වෛද්‍යවරයෙක් ළඟට පැමිණිය යුතුයි. හැම පළාතකම ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සහ රජයේ සායන පවතින නිසා, එවැනි ස්ථානයකට ගිහිල්ලා වෛද්‍යවරයෙක් හමුවී එක්ස්-රේ (X-ray) එකක් වගේ පරීක්ෂණයක් කරගත යුතුයි.”

කැස්ස සමඟ අවධානය යොමු කළ යුතු අනෙකුත් ලක්ෂණ

රුධිරය පිටවීමක් නොතිබුණද සති දෙකකට වැඩි කාලයක් කැස්ස පවතින්නේ නම් තවත් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.

ඇඟ කෙට්ටුවීම

කිසිදු විශේෂ උත්සාහයකින් හෝ ආහාර පාලනයකින් තොරව හදිසියේ සිරුරේ බර අඩුවීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

කෑම අරුචිය

ආහාර ගැනීමට ඇති කැමැත්ත අඩුවීමත් සමඟ සිරුර කෙට්ටු වීමක් තමන්ට හෝ පවුලේ සාමාජිකයෙකුට දක්නට ලැබේ නම් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ.

පපුවේ වේදනාව

පෙනහළු පිළිකා තත්ත්වයකදී පපුවේ විවිධ ස්ථානවල වේදනාව ඇතිවිය හැකිය. විශේෂයෙන්ම පෙනහළුවල පර්යන්ත ප්‍රදේශයක ඇතිවන පිළිකාවක් උරස් කුහරය දක්වා පැතිරීමේදී මෙවැනි වේදනාවන් ඇතිවිය හැකි බව සඳහන් වේ.

කෙසේ වෙතත්, පපුවේ ඇතිවන සෑම වේදනාවක්ම බරපතළ රෝගී තත්ත්වයක ලක්ෂණයක් නොවන අතර මාංශ පේශි ආශ්‍රිත ගැටලු හේතුවෙන්ද එවැනි වේදනා ඇතිවිය හැකිය.

එබැවින් අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවී පවුලේ වෛද්‍යවරයා හමුවී අදාළ තත්ත්වය පරීක්ෂා කරවා ගැනීම වැදගත් බවද අවධාරණය කෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button