ප්‍රධාන පුවත්

රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය අඛණ්ඩව – අධිකරණ නියෝගයත් නොතකා පිරිස රැඳී සිටී

රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, අධිකරණය විසින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙස නියෝග කර තිබියදීත් භික්ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන් එහි රැඳී සිටින බව වාර්තා වේ.

රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය අඛණ්ඩව – අධිකරණ නියෝගය සහ විරෝධතාකරුවන්ගේ තීරණය

අනුරාධපුර පූජා නගර සැලැස්මට විරෝධය පළ කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවේ ඊයේ (07) පෙරවරුවේදීය. ඒ අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පිහිටි දන්සල් භූමියේදීය.

විරෝධතාවයේ නිරත පිරිස එම ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීමට ද පියවර ගෙන තිබූ අතර, ඊයේ දහවල් කාලයේදී එහි නොසන්සුන්කාරී තත්ත්වයක් මතුව තිබේ.

එම ඉදිකිරීම් කටයුතු නතර කිරීමට පොලිසිය මැදිහත් වූ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී වාතාවරණයක් ද ඇති වී ඇත.

පසුව මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස සත්‍යග්‍රහයේ නිරත පිරිසට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

එම අධිකරණ නියෝගය මඟින් පූජා භූමිය තුළ පිහිටි පුරාවිද්‍යා ස්මාරකවලට කිසිදු ආකාරයක හානියක් සිදු නොකළ යුතු බව ද අවධාරණය කර තිබේ. එසේම එම ස්ථානයේ ඉදිකර ඇති තාවකාලික කූඩාරම් ඉවත් කිරීමට ද පියවර ගත යුතු බව නියෝගයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, අධිකරණ නියෝගය නිකුත් කර තිබියදීත් විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් වී නොමැති අතර, ඔවුන් රාත්‍රිය ද එහි ගත කර තිබේ.

ආණ්ඩුව විසින් අනුරාධපුර පූජා නගර සැලැස්මට අදාළ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා තෙක් සිය අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button