අද විශේෂ

දික්ඕවිටින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියෝග

දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ රුපියල් කෝටි 300කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය, සැකකාර ධීවරයින් 11 දෙනෙකු සමග, දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ අද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 263ක් ලෙස සඳහන් වේ.

පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කළේය.

ඉකුත් 25 වැනි දින සැකකරුවන් ගමන් කළ බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 109.422ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 112.258ක් නාවික හමුදාව විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි. එම මත්ද්‍රව්‍ය ආරක්ෂිත උර 15ක බහා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව, අධිකරණ රෙජිස්ටාර්වරයාගේ නිරීක්ෂණය යටතේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ලාකඩ මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගනු ලැබීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button