ප්‍රධාන පුවත්

විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව අත්හිටුවීමට අධිකරණයෙන් අතුරු තහනමක්

විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව අත්හිටුවමින් පුත්තලම පළාත්බද මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව නීතිවිරෝධී බවට පෙත්සමෙන් කරුණු

ආනමඩුව මුදලක්කුලිය විජය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබාදී තිබූ ස්ථාන මාරුව නීතිවිරෝධී බවට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අදාළ නඩුව ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී පුත්තලම පළාත්බද මහාධිකරණ විනිසුරු ජයලත් සී. සිල්වා මහතා මෙම අතුරු තහනම් නියෝගය ලබාදුන් බවයි.

ඒ අනුව අදාළ විදුහල්පතිවරයා ස්ථාන මාරු කරමින් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා නොවැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද විනිසුරුවරයා නියෝග කර ඇත. ඒ අනුව නඩුව එදින යළි කැඳවීමට නියමිතය.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.සී.කේ. වන්නිනායක, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ඒ.එම්.පී. ජයතිලක, පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.ටී.එන්. ප්‍රසාද් සහ ආනමඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එන්. ගලබඩ යන මහත්වරුන් මෙන්ම නීතිපතිවරයාද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම්කාර විදුහල්පතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පවසා ඇත්තේ අදාළ ස්ථාන මාරුව විදුහල්පතිවරුන් සඳහා අනුගමනය කළ යුතු විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව නීතියට පටහැනිව සිදුකර ඇති බවයි.

එමෙන්ම වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලබාදුන් ස්ථාන මාරු තීරණය අත්තනෝමතික, ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි සහ නීතිමය බලය ඉක්මවා ගිය ක්‍රියාවක් බවට තීන්දු කරන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

අදාළ ස්ථාන මාරු තීරණය අවලංගු කර බල රහිත කිරීම සඳහා සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා ඇති බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button