ප්‍රධාන පුවත්

අයහපත් කාලගුණයෙන් 21,452කට බලපෑම් – මරණ 2ක් සහ අතුරුදන්වීම් 3ක්

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 21,452 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ නවතම වාර්තාවට අනුව පසුගිය මස 23 වැනිදා සිට අද (03) දක්වා කාලය තුළ පවුල් 5,829කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 147ක් පුරා මෙම බලපෑම් ව්‍යාප්ත වී ඇති බවද වාර්තා වේ.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් සිදුව ඇති අතර තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබේ. එමෙන්ම පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 767කට අර්ධ හානි සිදුව තිබේ.

දිස්ත්‍රික්ක අතරින් වැඩිම බලපෑමක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක පවුල් 2,666කට අයත් පුද්ගලයින් 10,051 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

දෙවැනි වැඩිම බලපෑම වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි. එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 1,850කට අයත් පුද්ගලයින් 6,900 දෙනෙකු අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button