ප්‍රධාන පුවත්

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට HRW විරෝධය

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට HRW විරෝධය

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත මඟින් මෙරට මානව හිමිකම් සහ මූලික නිදහසට බරපතළ බලපෑම් එල්ල විය හැකි බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් (HRW) අනතුරු අඟවා තිබේ.

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නැයි HRW රජයෙන් ඉල්ලයි

රජය විසින් යෝජනා කර ඇති මෙම පනත් කෙටුම්පත මෙන්ම ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTB) ද ක්‍රියාත්මක වුවහොත්, මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වාර්තා වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යළි ඇතිවීමේ අවදානමක් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.

අත්තනෝමතික ලෙස පුද්ගලයන් රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම, පුළුල් නිරීක්ෂණ කටයුතු සහ පුරවැසියන්ගේ නිදහස සීමා කිරීම වැනි තත්ත්වයන්ට මෙම යෝජිත නීති හේතු විය හැකි බවට HRW සිය කනස්සල්ල පළ කර ඇත.

පසුගිය ඔක්තෝබර් 6 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ ඔක්තෝබර් 20 වැනිදා ඉදිරිපත් කළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින් ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව බලධාරීන්ට පුළුල් බලතල හිමිවන බව එම සංවිධානය සඳහන් කරයි.

2024 මැතිවරණ ප්‍රකාශනයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දනකාරී නීති අහෝසි කර ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දු සමඟ මෙම නව පනත් කෙටුම්පත් නොගැළපෙන බව ද HRW නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අධිකරණ අධීක්ෂණයකින් තොරව රඳවා තැබීමේ අවදානමක්

සාමාන්‍ය අපරාධ නීතියෙන් ලබාදෙන ආරක්ෂාවෙන් බැහැරව ක්‍රියා කිරීමට බලධාරීන්ට ඉඩ සලසන විධිවිධාන නව යෝජනා තුළ අන්තර්ගත බව HRW පෙන්වා දෙයි. පොලිසිය ලබාගන්නා පාපොච්චාරණ අධිකරණයේ සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩ සැලසීම හරහා වධහිංසා පැමිණවීම් සහ බලපෑම් කිරීම් දිරිමත් විය හැකි බව ද එම සංවිධානය අනතුරු අඟවා ඇත.

HRW ආසියානු කලාපීය අධ්‍යක්ෂ එලෙන් පියර්සන් ද ප්‍රකාශ කර ඇත්තේ පොලිස් පාපොච්චාරණ මත පදනම්ව දඬුවම් නියම කිරීමට ඉඩ සැලසීමෙන් වධහිංසා පැමිණවීම් දිරිමත් විය හැකි බවයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යටතේ ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් අර්ථ දැක්වීමක් යෝජනා කර ඇති අතර, සාධාරණ සැකයක් මත පුද්ගලයන් නැවැත්වීමට, සෝදිසි කිරීමට, ප්‍රශ්න කිරීමට සහ රඳවා ගැනීමට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට පුළුල් බලතල ලබාදීමට එමඟින් යෝජනා කර තිබේ.

එමෙන්ම මාස දෙකක කාලයක් සඳහා නිකුත් කරන රැඳවුම් නියෝග වසරක් දක්වා දීර්ඝ කිරීමටත්, චෝදනා ගොනු නොකර පුද්ගලයකු උපරිම වශයෙන් වසර දෙකක් රඳවා තැබීමටත් ඉඩ සැලසෙන බව HRW පවසයි. එවැනි රැඳවුම් නියෝග අවලංගු කිරීමට මහේස්ත්‍රාත්වරයකුට බලයක් නොමැති බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ ද සීමිත අධිකරණ අධීක්ෂණයක් යටතේ වසරක් දක්වා රඳවා තැබීමේ නියෝග ලබාදීමට ඉඩ සැලසෙන බව සඳහන් වේ. එමෙන්ම ඇප ලබාදීම සීමා කර ඇති අතර, බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන්ට නිදහස ලබාගැනීමට හැකි වන්නේ විශේෂිත අවස්ථාවලදී පමණක් බව HRW පවසයි.

සාමකාමී විරෝධතා සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටත් බලපෑම්

යෝජිත නීති මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, සාමකාමීව රැස්වීමට සහ සංගම් පිහිටුවීමට ඇති අයිතියට බලපෑම් එල්ල විය හැකි බව ද HRW අවධාරණය කරයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත පුළුල් අර්ථ දැක්වීම් හරහා නීත්‍යානුකූල විරෝධතා, මහජන අදහස් ප්‍රකාශ කිරීම් සහ විරුද්ධ මත දැරීම් ඉලක්ක කරගැනීමේ අවදානමක් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකත්වය තීරණය කිරීමේදී දන්නා සාමාජිකයන් සමඟ පැවැත්වූ හමුවීම්, ඇඳුම් පැළඳුම්, පච්ච කොටා ගැනීම්, අත් සංඥා සහ ඇතැම් ස්ථානවලට ගමන් කිරීම වැනි කරුණු සැලකිල්ලට ගැනීමට ද යෝජිත පනත් කෙටුම්පත මඟින් අධිකරණවලට ඉඩ සැලසෙන බව HRW සඳහන් කරයි.

අපරාධමය ක්‍රියාවලට සම්බන්ධ සාක්ෂි වෙනුවට පුද්ගලයන්ගේ ඇසුරු කිරීම් මත පදනම්ව ඔවුන් ඉලක්ක කරගැනීමට මෙවැනි විධිවිධාන හේතු විය හැකි බවට ද එම සංවිධානය අනතුරු අඟවා ඇත.

පුළුල් නිරීක්ෂණ බලතල පිළිබඳවත් කනස්සල්ල

සන්නිවේදනවලට මැදිහත් වීම සහ ඉලෙක්ට්‍රොනික උපාංගවලින් දත්ත ලබාගැනීම ඇතුළු පුළුල් නිරීක්ෂණ බලතල පොලිසියට ලබාදීමට සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතෙන් යෝජනා කර තිබේ.

ඇතැම් අවස්ථාවලදී අධිකරණ නියෝගයකින් තොරව සේවා සපයන ආයතනවලින් ග්‍රාහක අනන්‍යතා, ඇමතුම් විස්තර සහ උපාංගවල පිහිටීම් පිළිබඳ දත්ත ලබාගැනීමට බලධාරීන්ට හැකි විය හැකි බව HRW පවසයි.

අපරාධවලට ගොදුරු වූ පුද්ගලයන් හඳුනාගත හැකි තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සහ අධිකරණ කටයුතු වාර්තා කිරීම සීමා කිරීම හරහා මාධ්‍ය නිදහසට ද බලපෑම් ඇතිවිය හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.

GSP+ සහ ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම්

මෙම යෝජිත නීති මඟින් ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ GSP+ වෙළඳ වරප්‍රසාද වැඩසටහන යටතේ ලබාදී ඇති මානව හිමිකම් සහතික හා කැපවීම් සම්බන්ධයෙන් ද ගැටලු මතු වන බව HRW සඳහන් කරයි.

GSP+ තත්ත්වය යළි ලබාගැනීමේ ක්‍රියාවලියේදී 2017 වසරේ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කැපවී සිටි බව ද එම සංවිධානය සිහිපත් කරයි. එහෙත් එම පනත අහෝසි කරන බවට පොරොන්දු වී තිබියදීත් එය අඛණ්ඩව භාවිත කර ඇති බවට HRW වත්මන් රජය විවේචනය කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදුන් තොරතුරු අනුව, 2025 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව රඳවා ගැනීම් 46ක් වාර්තා වී ඇති අතර, 2026 වසරේ පළමු මාස තුන තුළ තවත් සිදුවීම් 12ක් වාර්තා වී තිබේ.

පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නැයි ඉල්ලීමක්

යෝජිත නීති මඟින් අත්තනෝමතික රඳවා තැබීම්, වධහිංසා සහ මූලික නිදහස සීමා කිරීම් සඳහා ඉඩ සැලසෙන බලතල අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් කඩවීමේ අවදානමක් පවතින බව HRW පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන අතරතුර එය භාවිත කිරීම වහාම අත්හිටුවන ලෙසත්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එම සංවිධානය රජයෙන් ඉල්ලා තිබේ.

නව නීති හඳුන්වාදීමට පෙර විවෘත හා පුළුල් සාකච්ඡා පවත්වා සියලු පාර්ශ්වයන්ගේ අදහස් සලකා බලන ලෙස ද HRW යෝජනා කරයි. නව නීතිවල අපරාධ පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීම්, ඵලදායී අධිකරණ අධීක්ෂණය, නීති උපදෙස් ලබාගැනීමේ අවස්ථා සහ වධහිංසා හා අත්තනෝමතික රඳවා තැබීම් වැළැක්වීමේ ශක්තිමත් ආරක්ෂණ ඇතුළත් විය යුතු බව ද එම සංවිධානය අවධාරණය කර ඇත.

එමෙන්ම, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත වත්මන් ස්වරූපයෙන් පවතින තාක් කල් GSP+ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කැපවීම් සපුරාලීම පිළිබඳ ගැටලු මතුවිය හැකි බව යුරෝපා සංගමය පැහැදිලි කළ යුතු බව ද HRW ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button