
සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති
සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීම සඳහා නව නීති රීති හඳුන්වාදීමට පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම පාලනය කිරීම මෙහි අරමුණ වී තිබේ.
සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති සහ මාර්ගෝපදේශ
සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණය කිරීමේදී දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කිරීමට සැලැස්වීම, වැඩිහිටියන්ට පමණක් සුදුසු අන්තර්ගත සඳහා යොදාගැනීම සහ දරුවන් ලිංගික වශයෙන් නිරාවරණය වන අන්තර්ගත නිර්මාණය කිරීම වැනි ක්‍රියාකාරකම් දක්නට ලැබෙන බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.
ජනප්‍රියත්වය හෝ ආදායම අපේක්ෂාවෙන් දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමට ලක් කිරීම බරපතළ ගැටලුවක් බව ද ඇය අවධාරණය කර ඇත.
දරුවෙකුගේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කිරීමට දෙමාපියන්ට පවා අයිතියක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරිය, දරුවෙකු සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔහුගේ හෝ ඇයගේ වයස සහ පරිණතභාවය සැලකිල්ලට ගත යුතු බව ප්‍රකාශ කළාය.
දෙමාපියන්ගේ වගකීම් විරහිත සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව බරපතළ ලෙස අවදානමට ලක්වන්නේ නම්, ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ආරක්ෂිත භාරකාරත්වය යටතට පත් කිරීම වැනි පියවර ගැනීමට ද සිදුවිය හැකි බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර, දරුවන්ට හිතකර මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව කටයුතු කර තිබේ. විශේෂඥ මණ්ඩලයක සහාය ඇතිව සකස් කෙරෙන එම මාර්ගෝපදේශ සංග්‍රහයේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර, ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සමාජ මාධ්‍ය තුළ වාණිජමය වාසි හෝ ජනප්‍රියත්වය වෙනුවෙන් දරුවන් යොදාගැනීම ‘Kidfluencing’ ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ප්‍රංශය සහ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ කිහිපයක නීතිමය පියවර ගෙන තිබේ.
එම පියවර අතර දරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ උපයන ආදායමෙන් කොටසක් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීම සහ අන්තර්ගත නිර්මාණය සඳහා දරුවන් යොදාගත හැකි කාලය සීමා කිරීම ද ඇතුළත් වේ.
මෙවැනි ජාත්‍යන්තර අත්දැකීම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළ ද සමාජ මාධ්‍ය භාවිතයේදී දරුවන්ගේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා නව නීති සහ මාර්ගෝපදේශ හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.



