
රනිල්ගේ පොදු සමාව බලශූන්යයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
රනිල්ගේ පොදු සමාව බලශූන්යයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීමේ වරදට සිරගතව සිටි පුද්ගලයෙකුට ලබාදුන් පොදු සමාව නීතිය ඉදිරියේ බලශූන්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
රනිල්ගේ පොදු සමාව සම්බන්ධයෙන් සමානාත්මතාව උල්ලංඝනය වූ බවට අධිකරණයෙන් තීරණයක්
අදාළ පුද්ගලයාට නියම කර තිබූ මාස 29ක සිර දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත.
මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැත්තාට ලබාදුන් මෙම සමාව අභියෝගයට ලක් කරමින් ඔහුගේ බිරිඳ වන අහමඩ් ෆාමිල්ලා බේගම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ලබාදුන් තීන්දුවට ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය හිමිවිය.
පෙත්සම්කාරිය සඳහන් කර ඇත්තේ 2005 අප්‍රේල් 23 වැනිදා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය යටතේ වගඋත්තරකරු සමඟ විවාහ වූ බවයි. එම විවාහයෙන් දරුවන් තිදෙනෙකු උපත ලබා ඇති බවද ඇය අධිකරණයට දන්වා තිබේ.
විවාහය අවසන් වීමෙන් අනතුරුව 2022 ජූනි 11 වැනිදා නැගෙනහිර කොළඹ ක්වාසි අධිකරණය විසින් රුපියල් 60,000ක නඩත්තු මුදලක් ගෙවන ලෙස වගඋත්තරකරුට නියෝග කර තිබුණි.
එහෙත් අදාළ නඩත්තු මුදල් අඛණ්ඩව ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් 1,740,000ක හිඟ නඩත්තු මුදලක් ගෙවන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. එම වරද සම්බන්ධයෙන් වගඋත්තරකරුට මාස 29ක සිර දඬුවමක්ද නියම කර තිබුණි.
කෙසේ වෙතත්, 2024 සැප්තැම්බර් 12 වැනිදාට යෙදුණු සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේ ලබාදුන් පොදු සමාවක් මත ඔහු නිදහස් කර තිබේ. එම අවස්ථාව වන විට ඔහු සම්පූර්ණ කළ සිර දඬුවම් කාලය මාස දෙකකට පමණක් සීමා වී තිබූ බවද තීන්දුවේ සඳහන් වේ.
තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙම සමාව ලබාදීම අත්තනෝමතික හා අසාධාරණ ක්‍රියාවක් බව පෙත්සම්කාරිය පෙන්වා දී තිබුණි. එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානාත්මතාවයේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවද ඇයගේ චෝදනාව විය.
කෙසේ වෙතත්, අදාළ සමාව ලැබූ පුද්ගලයා අධිකරණය හමුවේ පවසා තිබුණේ තමන් නිදහස් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)(අ) ව්‍යවස්ථාව යටතේ ලබාදුන් සමාවක් නොව, 34(1)(ඈ) ව්‍යවස්ථාව යටතේ සිදුකළ දඬුවම් ලිහිල් කිරීමක් බවයි.
එහෙත් නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් සිරගතව සිටි තවත් පුද්ගලයෙකු වන මොහොමඩ් ෆයිසාල් මොහොමඩ් නව්ෂාඩ්ට එලෙස නිදහස ලබාදී නොතිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර තිබේ. ඔහුගේ සිර දඬුවම් කාලය සතියකින් පමණක් අඩු කර තිබීම තුළ මෙම සමාව ලබාදීමේ ක්‍රියාවලියේ අසමානතාවක් පවතින බවද තීන්දුවේ සඳහන් වේ.
ඒ අනුව අදාළ පුද්ගලයා නිදහස් කිරීමට ගත් තීරණය තුළින් හිටපු ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සමානාත්මතාවය සහ නීතියේ සමාන ආරක්ෂාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
ඒ අනුව අදාළ පුද්ගලයාට ලබාදුන් පොදු සමාව නීතිය ඉදිරියේ බලශූන්‍ය බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කළ සිර දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම සඳහා නීතියට අනුකූලව අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.



