
මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් සොයා දිවයින පුරා වැටලීම්
මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් ඇතුළු පාරිභෝගික ආරක්ෂණ නීති කඩ කරන වෙළෙඳ ආයතනවලට එරෙහිව දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.
මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් සියල්ලට නීතිමය පියවර
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ පසුගිය ඔක්තෝබර් 20 වැනිදා සිට ඔක්තෝබර් 24 වැනිදා දක්වා දිස්ත්‍රික්ක රැසක් ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදුකළ බවයි. එහිදී පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කළ අවස්ථා 200කට ආසන්න සංඛ්‍යාවක් අනාවරණය වී ඇත.
භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවායේ මිල පැහැදිලිව දැනගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදීම, වෙළෙඳපොළ තුළ මිල ගණන් සම්බන්ධ විනිවිදභාවය තහවුරු කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් පාලනය කිරීම මෙම වැටලීම්වල ප්‍රධාන අරමුණු වී තිබේ.
මෙම මෙහෙයුම් යටතේ සහල්, සීනි, පරිප්පු, එළවළු, පලතුරු, තිරිඟු පිටි, බේකරි නිෂ්පාදන සහ කෙටි ආහාර අලෙවි කරන වෙළෙඳසැල් පරීක්ෂා කර ඇත. ඊට අමතරව රෙදිපිළි, විදුලි උපකරණ, ජංගම දුරකථන උපාංග සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ආයතන ද පරීක්ෂාවට ලක්කර තිබේ.
ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, අම්පාර, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, මොනරාගල, ත්‍රිකුණාමලය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇති බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
නීති උල්ලංඝනය කළ වෙළෙඳ ආයතන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ. ඇතැම් සිද්ධීන්ට අදාළව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීම සඳහා දින නියම කර ඇති බව ද එම අධිකාරිය ප්‍රකාශ කළේය.
මේ අතර, තිරිඟු පිටි අලෙවිය, වෙළෙඳපොළේ පවතින තොග ප්‍රමාණ, භාණ්ඩවල මිල ප්‍රදර්ශනය සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපැදීම පිළිබඳව ද විශේෂ විමර්ශන සිදුකර තිබේ.
එම විමර්ශනවලදී මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු වෙනත් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ද අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.



