
ජලාශ 25ක් වාන් මට්ටමට – වාන් දොරටුත් විවෘතයි
ජලාශ 25ක් වාන් මට්ටමට පැමිණ ඇති අතර පවතින අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් මේ වන විට වාන් මට්ටමට පැමිණ තිබේ. ප්‍රධාන ජලාශ පහක වාන් දොරටු විවෘත කර ඇති බව ද එහි සඳහන් වේ.
දැදුරුඔය ජලාශයේ අඩි පහ බැගින් වූ වාන් දොරටු දෙකක්, අඩි හතර බැගින් වූ දොරටු හතරක් සහ අඩි තුන බැගින් වූ දොරටු දෙකක් විවෘත කර තිබේ. එමඟින් දැදුරු ඔයට මුදාහරින ජල ප්‍රමාණය තත්පරයකට ඝන මීටර් 22,400ක් බව සඳහන් වේ.
රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු විවෘත කර ඇති අතර, අඩි පහ බැගින් වූ දොරටු හතරක්, අඩි හතර බැගින් වූ දොරටු හතරක්, අඩි තුන බැගින් වූ දොරටු හතරක් සහ අඩි දෙක බැගින් වූ දොරටු දෙකක් ඒ අතර වේ. එම ජලාශයෙන් කලා ඔයට මුදාහරින ජල ප්‍රමාණය තත්පරයකට ඝන මීටර් 14,288ක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව කිඹුල්වානා ඔය වැව, අඹකොළවැව සහ අලිකොට ආර යන ජලාශවල ද වාන් දොරටු විවෘත කර තිබේ.
මේ අතර මධ්‍ය පරිමාණ ජලාශ දෙකක ද වාන් දොරටු විවෘත කර ඇති බවත්, තවත් ජලාශ නවයක් වාන් මට්ටමට පැමිණ ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



